දමයන්ති දර්ශාගේ අතීතය සහ ලාංකේය ක්‍රීඩා වර්තමානය

මෑතක දී යූ ටියුබ් එකෙන් පරණ ඔලිම්පික් මළල ක්‍රීඩා මූලික තරග බල බලා ඉන්නකොට 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 මූලික වටයේම වීඩියෝ හොයාගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ කාන්තා මීටර් 100 තරගයේ 2වැනි මූලික වටයේ රූප රාමුව.

මංතීරු අංක දෙකේ තරග වදින්නේ ශ්‍රී ලංකාවේ දමයන්ති දර්ශා. තරගකාරියන් 8 දෙනෙක් අතරින් යාන්තමට 7 වැනියා වුණ දර්ශාට පරාජය වෙන්නේ මාලදිවයින් ක්‍රීඩිකාව අමිනාත් රිෂිතා විතරයි. රිෂිතා තමයි මාලදිවයින් ඉතිහාසයේ ඔලිම්පික් උළෙලක් සඳහා තරග වැදුණු මුල් ම ක්‍රීඩිකාව. ඒ නිසා මෙය දමයන්ති දර්ශාට විතරක් නෙමෙයි, මාලදිවයින් මළල ක්‍රීඩා ක්ෂේත්‍රයටත් ඉතිහාසගත වීඩියෝවක් කියලා හිතන්නත් පුළුවන්. ලංකාවටත් ඔලිම්පික්  කාන්තා ඉසව්වල මහ ලොකු ඉතිහාසයක් නෑ. මේ උළෙලට කලින් පැවැත්වුණ උළෙල තමයි ලංකාවේ මුල් ම කාන්තා සහභාගීත්වය සනිටුහන් කරන ඔලිම්පික් උළෙල. 1988 සෝල් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් මුල් වරට යවන ක්‍රීඩිකාවන් තමයි තිලකා ජිනදාස (මීටර් 100 කඩුළු) සහ දීපිකා චන්මුගම් (පිහිනුම්). මේ ‘මුල් ම කාන්තා සහභාගීත්වය’ කියන කාරණය ලංකාවේ ක්‍රීඩා විචාරකයින් සහ මාධ්‍යවේදීන් හුඟ දෙනෙක් වාර්තාකරණයේ දී වැරදි අර්ථකථනයක් ලබා දෙන කරුණක්. හුඟ දෙනෙක් තිලකා ජිනදාස ගැන කතා කරනකොට, ලියනකොට ‘ලංකාවෙන් ඔලිම්පික් ගිය මුල් ම ක්‍රීඩිකාව’ කියලා හඳුන්වන එක ඇත්තටම අසම්පූර්ණයි. ඇයට ඒ ගෞරවය හිමිවෙන්න ඕනේ ‘ලංකාවෙන් ඔලිම්පික් ගිය මුල් ම ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් කෙනෙක්’ කියන හැඳින්වීමෙන්. නැත්නම් ‘ලංකාවෙන් ඔලිම්පික් ගිය මුල් ම මළල ක්‍රීඩිකාව’ කියලා කිව්වා නම් හරි. එළියෙන් බලනකොට මේ කාරණා ඉතා සුළු දේවල්  වගේ පෙනුණට ඉතිහාසය නිර්මාණය කරන්න දායක වුණු පාර්ශ්ව පැත්තෙන් බලනකොට මේවා ඉතා සංවේදී කාරණා. කවුරුහරි කෙනෙක්ට හිතිලා හරියට, තිතටම කිරලා – මැනලා බැලුවොත් ‘ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලක තරග කළ මුල් ම ක්‍රීඩිකාව’ හෝ ‘ලංකා ධජය යටතේ ඔලිම්පික් තරගයකට සහභාගී වූ මුල් ම ක්‍රීඩිකාව’ වෙන්නේ තිලකා ජිනදාස නෙමෙයි දීපිකා චන්මුගම්. මොකද, ඕනෑම ඔලිම්පික් උළෙලක මළල ක්‍රීඩා තරග පවත්වන්නේ අවසානයට නිසා තිලකා දුවන්න එනකොට දීපිකා පීනලා ඉවරයි. කොහොමහරි 1988 වසරේ තිලකා – දීපිකා සුසංයෝගයට පස්සේ තමයි 1992 ඔලිම්පික් එන්නේ. ඒ වතාවේ දී නම් දමයන්ති දර්ශා (මීටර 100 සහ 200) ශ්‍රියානි කුලවංශ (කඩුළු පැනීම) ජයමිණි ඉලේපෙරුම (මීටර 400) ධම්මිකා මැණිකේ (මීටර 800) විජිතා අමරසේකර (හෙල්ල විසිකිරීම) සහ පුෂ්පමාලි රාමනායක (වෙඩි තැබීම) යනාදී කාන්තා කණ්ඩායමකට ම බාසිලෝනා යන්න අවස්ථාව හිමි වුණා.

ආපහු වතාවක් මේ මීටර 100 ධාවන තරගය ගැන ම අවධානය යොමු කළොත් මේ මූලික වටය දිනන්නේ Unified Team නාමය යටතේ තරග වැදුණු (පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ රටවල් 15 ක් 1992 ඔලිම්පික් උළෙලට සහභාගී වූයේ මේ නම යටතේ) රුසියාවේ අයිරිනා ප්‍රිවලෝවා. ඒ කාලයේ කෙටි දුර ඉසව්වල ලෝක මට්ටමේ පදක්කම් අතර හිටිය තරුවක් වුණු ප්‍රිවලෝවා ඇමරිකාව, ජැමෙයිකාව සහ ජර්මනිය යන රටවල්වල කෙටිදුර බලාධිකරය ට තනියම ම අභියෝග කළ ක්‍රීඩිකාවක්. ඇය 1993 සහ 1995 වසරවල දී තත්පර 6.92 ක් ලෙස පිහිටුවන ලද මීටර 60 ගෘහස්ත ඉසව්වේ ලෝක වාර්තාව අද දක්වාම බිඳ වැටී නැහැ.  මේ 1992 ඔලිම්පික් උළෙලේ මීටර 200 අවසාන තරගයේ දි ප්‍රිවලෝවා ලෝකඩ පදක්කම හිමි කරගන්න සමත් වුණා.

එතකොට දර්ශා ?


දර්ශා මේ තරගයෙන් 7 වැනියා වුණාට ඇයගේ තරග නිමි කාලය වුණේ 11.88 ක්. 1992 ඔලිම්පික් උළෙලේ තරග වදින දර්ශා එතකොටත් කොළඹ කාන්තා විද්‍යාලයේ වයස අවුරුදු 17 ක සිසුවියක්. ඇයගේ මුල් ම ජාත්‍යන්තර තරගාවලිය වෙන්නේ වයස අවුරුදු 16 දි සහභාගී වුණු 1991 කොළඹ සාග් ක්‍රීඩා උළෙල. 1992 බාසිලෝනා ඔලිම්පික් කියන්නේ ඇගේ දෙවැනි ජාත්‍යන්තර අත්දැකීම. වසරකට පෙර ඇය කොළඹ සාග් උළෙලේ දී මේ ඉසව්ව ජය ගත් තරග නිමි කාලය වුණු 11.72 නව සාග් තරග වාර්තාවක් විදියට සඳහන් වුණා. 1991 සාග් උළෙලේ දි දර්ශා ට අමතරව ජයමිණි ඉලේපෙරුම, ධම්මිකා මැණිකේ, විජිතා අමරසේකර, යමුනා ජයලත් යාපා වගේ ක්‍රීඩිකාවන් රන් පදක්කම් දිනුවත් ඒ කිසි කෙනෙක් සාග් වාර්තාවක් පිහිටවන්න සමත් වුණේ නැහැ. ශ්‍රියානි කුලවංශ මීටර 100 කඩුළු පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තට ඇයට සුළඟේ ආධාරය ලැබුණු බව  සඳහන් වුණු නිසා එම කුසලතාව නව සාග් වාර්තාවක් ලෙස පිළිගැනුණේ නැහැ. ඉන් පස්සේ ශ්‍රියානි කුලවංශ නැවතත් උස පැනීම ඉසව්වේ දී නව සාග් වාර්තාවක් පිහිටුවමින් ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඒත් ඒ වෙනකොට දමයන්ති දර්ශාගේ මීටර 100 ඉසව්ව අවසන් වී තිබුණු නිසා 1991 සාග් උළෙලේ ‘මුල් ම වාර්තාව’ කියන විරුදාවලිය හිමි වුණේ දර්ශා ට.

දමයන්ති දර්ශා මේ ඔලිම්පික් උළෙලේ ම මීටර් 200 ඉසව්වටත් තරග වැදුණා. ඇය එක්සත් කණ්ඩායමේ අයිරිනා ප්‍රිවලෝවා සහ නයිජීරියාවේ මේරි ඔන්යාලි සමග තරග කරමින් මූලික වටයේ දී 23.82 කාලයක් සමග 4 වැනි තැන දිනලා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා. ඒ වටයේ දී ඇය මේ ඉසව්වේ අවසානයේ දී රන් පදක්කම දිනූ ඇමරිකාවේ ග්වේන් ටොරන්ස් සහ ජැමෙයිකාවේ ග්‍රේස් ජැක්සන් සමග තරග කරමින් 23.89 කින් 7 වැනි තැනට පත් වෙනවා. ඒ වෙනකොට මීටර 200 කාන්තා ඉසව්වේ දකුණු ආසියාවේ තත්ත්වය කොහොමද කියලා බැලුවොත් 1991 කොළඹ සාග් උළෙලේ රන් පදක්කම දිනුව ඉන්දීය ක්‍රීඩිකාවගේ කාලය 23.93 යි. එවකට ඒ ඉසව්වේ සාග් වාර්තාව වුණු 1989 ඉස්ලාමාබාද් උළෙලේ ඉන්දියාවේ අශ්විනි නච්චප්පාගේ වාර්තාව 23.85 යි. ඒ කියන්නේ දර්ශා ඔලිම්පික් උළෙලේ සහභාගී වුණු මූලික තරගයේදී ම එවකට පැවති සාග් වාර්තාව අභිබවා යන්නට සමත් වෙලා තියෙනවා.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් විය යුතු නිසා 1991 දෙසැම්බරයේ පැවැත්වෙන්නට නියමිත සාග් ක්‍රීඩා උළෙල පිළිබඳ අපේක්ෂා අත හැරිය වයස අවුරුදු 16 ක පාසල් ක්‍රීඩිකාවක් විනෝදයට සාග් තේරීම් තරගවලටත් සහභාගී වෙනවා. පළමු තේරීම් තරග දෙකේදි ම 3 වැනියා විදියට තරගය නිම කරන ඇය අවසාන තේරීම් තරගයේ දී 1 වැනියා වෙලා 1991 වර්ෂයේ කොළඹ දී පැවැත්වෙන්නට නියමිත සාග් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 100 ඉසව්වේ ශ්‍රී ලංකා නියෝජනය ලෙස සුදුසුකම් ලබනවා. ඒ මොහොතේ දී ඇය තමන් මේ වසරේ දී සාග් තරගාවලියට සහභාගී වන බවත්, සාමාන්‍ය පෙළ විභාගයට ලිවීම ඊ ළඟ වසරට කල් දමන බවත් තීරණය කරනවා. තීරණය කළා වගේ ම ඇය, දමයන්ති දර්ශා 1992 වසරේ දී සාමාන්‍ය පෙළ විභාගයටත් පෙනී හිටියා. අවුරුදු 16 දි දකුණු ආසියානු වාර්තාවක් සමග මීටර 100 රන් පදක්කම සහ මීටර 4×100 සහාය දිවීමේ රන් පදක්කම දිනන ඇය එම දක්ෂතා පදනම් කරගෙන වයස අවුරුදු 17 දී ඔලිම්පික් උළෙලකට තරග වැදීමේ භාග්‍ය හිමි කරගන්නවා. 1992 වර්ෂය වගේ යුගයක දි, ලංකාවේ තිබුණු සාග් උළෙලක රටවල් හතක් එක්ක දුවපු අත්දැකීම පමණක් තිබුණු එම පාසල් ක්‍රීඩිකාව වයස 17 දී ඔලිම්පික් තරගාවලි‍යේ දී මීටර 100 සඳහා 11.88 ක කාලයක් සහ මීටර 200 සඳහා 23.82 ක කාලයක් වාර්තා කරනවා. මේ යුගයේ ලංකාවේ වයස අවුරුදු 20 පහළ ක්‍රීඩිකාවන්ගේ Personal Best අර ගත්තත් දර්ශා වයස 17 දි දක්වපු දක්ෂතා තියෙන්නේ ඊට වඩා ඉදිරියෙන්.

මේ ලියපු දීර්ඝ සටහන හදවතෙන් නැතිව මොළයෙන් කියෙව්වොත් අද වෙනකොට අපි ඉන්නේ කොතැනද කියන කාරණය සහ සමහරු ඉන්නවා කියලා පෙන්නගෙන ඉන්න තැන, ඇත්තටම කොයි වගේ ද කියලා අවබෝධ කරගන්න පුළුවන් වෙයි.

ඉතිහාසය හෝ නිවැරදි දත්ත නොදැන සිටීම පැත්තකට දාලා දේශප්‍රේමී බව හෝ හැඟීම්බර බව එකම ආයුධය කරගත්ත ක්‍රීඩා ලෝලීන්ටයි තමන්ගේ මාධ්‍ය හැඳුනුම්පත හෝ මාධ්‍ය සම්බන්ධතා පිටස්තරයින්ගේ ෆැන්ටසි වෙනුවෙන් පූජා කරලා එක්වරම සෝවාන් වෙන්න ගිය මාධ්‍යවේදීන්ටයි මේ යුනිකෝඩ් කන්දරාව එක්තරා විදියක හිසරදයක් වෙයි. ඒත් කමක් නැහැ.

– සහන් කසීර වික්‍රමසිංහ –

 

Social Sharing
අවකාශය නවතම