අප ජීවත්වන යුගයේ ජාත්‍යන්තර දේශපාලනයේ දුෂ්කරම ගැටලුව වන්නේ චීනය තේරුම් ගැනීම යැයි සිතමි. අද පමණක් නොව හැමදාම චීනය තේරුම් ගැනීම පහසු කටයුත්තක් නොවුණි. ලෝකයට ‘නීඩ්හැම්’ ලා හෙවත් චීනය පිළිබද විශේෂඥ වියතුන් අවශ්‍ය වූයේ එබැවිනි.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති ඔහු ලියූ අලුත් පොත එළි දක්වන දවසේ පැවසුවේ චීනය වටහා ගැනීමට නම් තමන්ටද තව ආත්ම හතළිහක් පමණ ඉපදිය යුතුව ඇති බවය.
ඒ ශාස්ත්‍රීය අවංකකම සහිතවම ඔහු මහා අභියෝගයක් භාරගෙන තිබේ. ඒ චීනයේ කතාව අපට කියා දීමය.
චීන විප්ලවයේ ඉතිහාසය කාටත් තේරුම් ගත හැකි වන ලෙස සරල හා රසවත්ව ලිවීම විප්ලවය තරමටම බැරෑරුම් වන විප්ලවීය කටයුත්තකි. වරුණ අතගසා ඇත්තේ ඒ විප්ලවීය කටයුත්තටයි.
චීනය වටහා ගැනීමට වරුණ “දිගු පා ගමනක්” ගියේය. එය වසර විස්සකට වැඩිය. මහ බැංකුවේ තමා කරම්න් සිටි රැකියාව හැරදමා චීනයට ගියේය. ඔහු එහිදී චීන බස ඉගෙන ගත්තේය. අන්තර් සංස්කෘතික සන්නිවේදන ශික්ෂණයක් ඔස්සේ චීන සංස්කෘතිය හා ඒ පිටුපස ඇති ජීවන දර්ශනය හැදෑරුවේය. විකිපීඩියා බලා තොරතුරු ලිවීම වෙනුවට චීනය පිළිබඳ තොරතුරු සම්භාරයක් තමන්ගේම විචාර දෘෂ්ටියකින් හැදෑරුවේය.
මේ දැවැන්ත ශාස්ත්‍රීය කැපකිරීම ඔස්සේ ” මග සොයාගත් නායකයා : චීන පොදු නිෂ්පාදන පක්ෂයේ ඉතිහාසය” යනුවෙන් ලියන මහා කෘතියක පළමු වෙළුම ඔහු පසුගිය 03 වෙනිදා එළි දැක් වූවේය.
මග සොයාගත් නායකයා මාවෝ සේතුංය. පක්ෂය චීන කොමියුනිස්ට් පක්ෂයයි. චීනය, චීන කොමියුනිස්ට්වාදය, මාවෝ ගැන අපි මෙතෙක් කියවා තිබෙන වාමාංශික හා අනෙකුත් සාහිත්‍යයේ පොදු ලක්ෂණය වන්නේ ඒවා කියවන විට එපා විමය. චීන නම් වග වාසගම් මතකතබා ගැනීමේ දුෂ්කර බව එක් හේතුවකි. අනෙක නම් මේවා ලිවීම සඳහා යොදාගෙන තිබූ පාරිභාෂික වචන මාලාවේ වියලි බවයි. මේ දුෂ්කරතා දෙකම පහසුවෙන් ජයගැනීමට වරුණ සමත් වී ඇත.
අපට හුරු පුරුදු වාමාංශික වචනයක් වන comerade යන්නෙහි සාර්ථකම පර්වර්තනය වන්නේ ‘සහෝදරයා නොව මිත්‍රයා හෝ සගයා’ යන්න බවද එසේ වුවද කවුරුත් යොදන නිසා දැන් එය වෙනස් කළ නොහැකි බව එක් වාමාංශික ලේඛකයකු වන ගුනසේන විතාන මහතා ලියා තිබෙනු දුටුවෙමි. එහෙත් වරුණ චීන කොමියුනිස්ට් පක්ෂය නම් කරන්නේ කාටත් හුරු පුරුදු එනමින් නොව “චීන පොදු නිෂ්පාදන පක්ෂය” වශයෙන් චීන අර්ථයට හැකිතාක් ලංවෙමිනි. සම්මත පාරිභාෂික වචන භාවිතය සම්බන්ධයෙන් එබදු වෙනස්කම් රැසක් ඔහු සිදු කරයි.
චීන කොමියුනිස්ට් විප්ලවය දෙස වරුණ බලන්නේ කොමියුනිස්ට්වාදියකු ලෙස නොවේ. කොමියුනිස්ට්වාදය බිහිවීමට පෙර අවුරුදු දහස් ගණනක් තිස්සේ චීන ශිෂ්ටාචාරය ගමන් ගත් මාවත ඇසුරින් සකස් කරගත් යථාර්ථවාදී ඓතිහාසික දෘෂ්ටියක පිහිටමින්ය.
මේ පළමු වෙළුම වෙන්කර ඇත්තේ මාවෝ සේතුං පක්ෂයේ නායකත්වයට පැමිණීම දක්වා කතාව පැහැදිලි කිරීමටය. පැරණි චීන අධිරාජ්‍යයේ වැටීම, සුන්යත් සෙන්, චියෑන්කායිෂෙක් සහ යුධ අධිපතීන්ගේ නැගීම, ජපන්, ප්‍රංශ රුසියානු මැදහත් වීම, චීන කොමියුනිස්ට් පක්ෂය හා මාවෝ සේතුංගේ නැගීම යන සිද්ධීන් මේ කොටසට අයත්ය. තව වෙලුම් තුනක් ලිවීමට තිබෙන බව වරුණ පවසයි.මේ ක්‍රමය ඔස්සේම එය සම්පූර්ණ කිරීමට නුදුරේදීම ඔහුට හැකියාව ලැබේවා යන්න මාගේ ප්‍රාර්ථනාවයි.
මේ පොත දේශපාලන සාහිත්‍යයට හා ඉතිහාස රචනයට නව ආරක් හඳුන්වා දුන් පොතකි. දෝෂයක්, දූෂණයක් හැටියට සාමාන්‍යයෙන් හඳුන්වන පුනරුක්තිය භූෂණයක් වට්නාකමක් බවට පත් කළ ආඛ්‍යාන කලාවකි.
ප්‍රබන්ධකරණයට පමණක් නොව ශාස්ත්‍රීය ලේඛනයටද කට වහර සාර්ථකව යොදා ගතහැකි බව පෙන් වූ අවස්ථාවකි.
අන්තර්ගතයද, අන්තර්දෘෂ්ටියද, අත්කරගෙන ඇති ශෛලියද අතින් වරුණ කර තිබෙන්නේ සිංහල දේශපාලන සන්නවේදන සාහිත්‍යය හා ඉතිහාසකරන විෂයයෙහි එක්තරා ආකරයක සාහසික (swashbuckling ) මැදිහත්වීමකි.
උම්මග්ග ජාතකය කියවාගෙන යන්නා වගේ හැගීමකින් යුතුව පරිච්ඡේද 53 කින් හෙබි මේ පොත එක දිගට කියවාගෙන යා හැකිය…
– කරු පරණවිතාන –