ගෝඨාභය රට ගියාද? තවමත් කුමන්ත්‍රණ ඉවර නෑ..!

කතානායක මහින්ද යාපා අබේවර්ධන විටෙක කීවේ ජනාධිපතිවරයා රටේ නැති බවය. ඊටපසු කීවේ ඉන්නා බවය. ඒ අතරේ කටකතා කීවේ ගෝඨාභය රාජපක්ෂ සිටින්නේ නැවක බවය. එහෙම මෙහෙම කතා යනකොට අද උදෑසන ලංකාදීප ෆේස්බුක් අඩවිය මෙහෙම වාර්තා කර තිබුණි.

‘බැසිල් රාජපක්ෂගේ මහතා අද උදෑසන 12.15 පමණ කොළඹ බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පැමිණ තිබුනා ඒ ඔහු එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි හරහා වොෂින්ටන් බලා පිටත්ව යාමටයි. ඔහු සමඟ රජයේ ආයතන වල සභාපති ලෙස ධූර දැරූ කිහිපදෙනෙක් සිටි බවට වාර්තා වෙනවා.

බැසිල් මහතා ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන් සඳහා වු පර්යන්තයෙන් ඇතුළු වී සිට ඇති අතර ඔහුගේ සහායකයන් විසින් ගුවන් යානයට ඇතුළු වීමට ලිපි භාර දෙන අවස්ථාවේ දී එහි සිටි ගුවන් මගියෙකු දැඩි විරෝධය පලකරමින් කියා සිටියේ බැසිල් ඇතුළු පිරිස ගුවන් යානයට ඇතුලත් නොකරන ලෙසයි.

පසුව ගුවන් තොටුපලේ නිලධාරීන් විසින් මොවුන් ආරක්ෂිත ස්ථානයක රඳවා තබා පසුව උදෑසන 2.15 පමණ මොවුන් ගුවන් තොටුපලෙන් පිටව ගොස් ඇත’

ගෝඨාභය ඉන්නේ කොහේද?

මෙලෙස පිටව ගිය පිරිස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ බිරිඳ ඇතුලු විශාල පිරිසක් මේවනවිට කටුනායකට ආසන්න ගුවන් හමුදා කඳවුරක ආරක්ෂිතව රැඳී සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

බොහෝ මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඩුබායි රාජ්‍ය වෙත යෑම සඳහා සූදානමින් සිටින බවය. පසුගිය සෙනසුරාදා (09) උදෑසන නාවික හමුදාවට අයත් නෞකාවක් මගින් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු පිරිස ත්‍රිකුණාමලය ‘නේවි හවුස්’ නම් නිවස්නය වෙත ගෙනගොස් ඇරලවා තිබුණ අතර මේවනවිට ඔහු සහ පිරිස ගුවන්මගින් රත්මලාන හරහානැවත එම කටුනායකට ආසන්න ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ සිටින බව වාර්තා වෙයි. ඒ විදේශ රාජ්‍යයක් වෙත ගමන් කිරීමේ සූදානමින් ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් අනිවාර්යයෙන්ම 13 දා ඉවත්ව යන බව සඳහන් වෙන අතර ඊට ප්‍රථම ඔහු සහ පිරිස බොහෝදුරට මත්තල හරහා ඩුබායි වෙත පියාසර කරනු ඇතැයි තහවුරු නොකළ වාර්තාවන් ප්‍රකාශ කරයි.

තවමත් අවසන් නැති කුමන්ත්‍රණ

කෙසේ වුණත් තවමත් රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණ අවසන් නැති බව වාර්තා වෙන අතර ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර එලබෙන ජූලි 20 දා පවත්වන්නට යෝජිත ඡන්ද විමසීම සඳහා බැසිල් රාජපක්ෂගේ ආශිර්වාදය ඇතුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන්නට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ ඒ සඳහා සිය එකඟතාවය පළ නොකළහොත් දැනට සජිත් ප්‍රේමදාස වෙත සහාය පළකරන බව ප්‍රකාශ කර සිටින ඩලස් අලප්පෙරුම සජිත් ප්‍රේමදාස මහතා සමග ජනාධිපතිවරයා වීම සඳහා තරග කරනු ඇත. ඒ සඳහාද මේවනවිට පොහොට්ටු ප්‍රබලයන් සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ නායකයන් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙයි.

තත්ත්වය එසේ වුණත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ හිතවාදීන්ගේ වැඩි උත්සාහය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත් කිරීමට බවද දැනගන්නට ලැබේ.

ෆොන්සේකා සාධකය

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ද ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා පවත්වනු ලබන ඡන්ද විමසීමට ඉල්ලීමට කලින් තීරණය කර තිබුණත් මේවනවිට ඔහු සජිත් ප්‍රේමදාසට සහාය දෙන්නට තීරණය කර ඇත. ඒ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පිළිබඳ බලාපොරොත්තුවෙන් ය. එම අමාත්‍යාංශය ඔහුට ලබාදීම සඳහා සජිත් ප්‍රේමදාසගේ එකඟතාවයක් තිබෙන බවද වාර්තා වෙයි.

සජිත් ප්‍රේමදාස වෙත සහාය ලබාදීමේ සූදානමක දෙමළ ජාතික සන්ධානය සිටියත් එම තීරණය ඉන්දියානු ආණ්ඩුවේ ස්ථාවරය මත රඳාපවතිනු ඇත.

ඊයේ (11) රැස්වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම සජිත් ප්‍රේමදාස, ජනාධිපතිවරයා තෝරාගැනීමේ පාර්ලිමේන්තු ඡන්දයට ඉදිරිපත් විය යුතු යැයි ඒක මතිකව සම්මත කරගෙන ඇත.

එහෙත් බැසිල් රාජපක්ෂගේ මෙහෙයුමේ සාර්ථක අසාර්ථකතාවය අනුව ඔහුට ජයග්‍රහණය හිමිවෙනු ඇතිද යන්න තීරණය වෙනු ඇත.

-කේ. සංජීව-

Social Sharing
නවතම විශේෂාංග