අලුත් ලාංකික භාෂාවක් නිර්මාණය කර ගත යුතුව ඇත….

සිදුවෙමින් යන්නේ ලාංකික ඉතිහාසයේ ප්‍රථම මහජන විප්ලවය නම් මම හිතන විදියට අපි මුලින් කරන්න ඕනි ඒ විප්ලවයේ අයිතිය ඉල්ලා සිටිනවට වැඩිය කරන්න ඕනි පරණ ව්‍යුහයන්ගෙන් නිදහස් වෙන එක. පුද්ගල පරාණ විතරක් නෙවෙයි ඒ පුද්ගලයින් විසින් පණවගේ ආරක්ෂා කරන්න ඕනි කියන පරණ ව්‍යවස්ථා කඩදාසි, නීති රෙගුලාසි සහ ක්‍රමයේ නෂ්ටාවශේෂ යන සියල්ල වෙනුවට අලුත් ව්‍යුහයක් නිපදවා ගන්න පුළුවන් නම් හොඳයි. ඒක තමයි අපි කරන්න ඕනි ප්‍රථම රැඩිකල් තේරීම (radical choice).

ලාංකික සමාජය නැවුමු විමුක්ති අවකාශයක් වෙත මුදාහැරිම වෙනුවෙන් මේ ජයග්‍රහණය අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් මාර වටිනවා කියල හිතෙනවා. ආපසු පරණ ලෝකෙම ඕනි කියල ඉල්ලන අයට උත්තර දෙන්නත් වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය, වාර්ගික ගැටළුව වැනි විසල් ගැටළු වගේම එදිනෙදා ජීවන ගැටලුත් අමතක කරන්න බැහැ. නමුත් කොන්ක්‍රීට් කඳු වෙනුවට මනුෂ්‍ය සමාජයක් ගොඩනගන්න අපි මහන්සි වෙන්න ඕනි.

විප්ලව දෙකක උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව ලාංකික පොළොව තුල තවත් එක් විප්ලවයක් සිදුව ඇත්නම් අපි දැන් විප්ලවයෙන් පසු දිනද සඳහා ද සුදානම් වෙන්න ඕනි. ඒ පසු දිනය ඉතාම දුෂ්කර දිනයක් වනු ඇත්තේ ඉහත විප්ලවය ඇත්ත මහපොළොවේ මිනිස් අවශ්‍යතා වෙනුවෙන් භාවිත කිරීම, අභ්‍යාස කිරීම වෙනුවෙන්.

අමරුම වැඩේ අලුත් ලෝකයක් පරිකල්පනය කරන එක. ඒ වෙනුවෙන් කිසිදු කඩදාසි කොලයක් බාධාවක් කර ගන්න ඕනි නැහැ. නිදහසේ හිතමු.

අප හෙට දිනයේ අවදිවිය යුත්තේ පෙර පරිදිම පැරණි ලෝකය ප්‍රතිජිවනය කිරීමට නම් ඉහත විප්ලවයෙන් පලක් වෙන්නේ නැහැ. අලුත් ලොවක් ගැන හිතමු. අලුත් ක්‍රමයක් ගැන හිතමු. අලුත් පාලන ව්‍යුහයක් ගැන හිතමු. කොටින්ම අලුත් භාෂාවක් ගැන හිතමු.

කුණාටුව තරණය කරමු. අලුත් භාෂාවක් කතා කරමු. විප්ලවයෙන් පස්සේ දවස සාර්ථක වෙන්නේ එහෙමයි.

හෙටින් උදාවන ලෝකය හැමටම සුවදායක කරමු…

ජය!

 

-මෙහේෂ් හපුගොඩ-

Image@ රොක් ඉතිහාසයේ කඩවසම් ම ගායකයා ලෙස සැලකෙන Jim Morrison.

Light my Fire by The Doors❤️❤️

Social Sharing
නවතම විශේෂාංග