මහ ජන කුණාටුවට හසු වූ සාටකය….

නව මාවතක් සොයා ගැනීම වෙනුවෙන් පිබිදෙන ජන නැගිටීමක් විප්ලවයක් කියලා සරලව හදුන්වන්න පුළුවන්. මානව ඉතිහාසය පුරා නොයෙකුත් ආකාරයේ විප්ලව ගැන අපි දන්නවා. ප්‍රධාන වශයෙන් ප්‍රංශ විප්ලවය (1789-1799),රුසියානු විප්ලවය (1917) සහ ඇමරිකානු විප්ලවය (1775) මේ අතරින් වඩාත් ජනප්‍රියයි.

විප්ලවයක් පටන් ගන්න සමාජිය සාධක,ආර්ථික සාධක,දේශපාලන සාධක බලපානවා. ලෝකයේ බොහොමයක් රටවල් වල වැඩි වශයෙන් විප්ලව කරන්න හේතු වෙලා තියෙන්නේ දේශපාලන ආකාර්යක්ෂමතාව, ආර්ථික සංවර්ධන ගැටළු කියන දේශපාලන සහ ආර්ථික සාධක. නමුත් ලංකාවේ ජූනි 09 විප්ලවයට මේ ප්‍රධාන සාධක 03ම බලපෑවා. ඉස්සර අපි හම්බ කරොත් අපි කනවා කියලා පාඩුවේ හිටපු මිනිස්සු, මිනිස්සු එකා දෙන්නා පෝලිම් වල මැරෙන්න දීලා පාලකයො රටට විහිළු සපයද්දි, කන්න නැතුව අම්මලා දරුවො එක්ක ගඟට පනිද්දී, පෙට්‍රල් ටිකට මනුස්සයෙක් මරන්න තරම් මනුස්සකම් නැති වෙද්දි, තමන්ගෙ ආත්මාර්තකාමීත්වය අහක දලා පන දෙන්න තරම් ආදරයකින් විප්ලව කරන්න එකතු උනා.

අපේ ඉතිහාස පොත් වල ඕනෑ තරම් අතීතයේ කරපු විප්ලව ගැන තිබෙනවා. සමහර විට 30 වසරක සිවිල් යුද්ධයත් දෙමල ජනතාවට විප්ලවයක් කරා වගේ වෙන්න ඇති. ඒ කොහොම උනත් ගෝල්ෆේස් අරගලය වැනි ජන නැගිටීමක් අතීතයේ තිබුණෙ නැහැ කියලා නම් දන්නවා. නිර්ප්‍රචණ්ඩත්වයෙන් මූලික අරමුණු රාශියක් දිනා ගැනීමට හැකි වුණු එකම අරගලය මේ අරගලය. ඒ වගේමයි හැමදාම ජාති වලට බෙදිලා ආගම් වලට බෙදිලා පක්ෂ වලට බෙදිලා මරාගත්ත මිනිස්සු එකට එකතු වෙලා සටන් කෙරුව එකම අරගලය මේක. ඇයි සති දෙකෙන් හැමදේම අමතකයි කියලා අපි අපිටම හිනා වෙලා දවස් 100කට ආසන්නයක් අමාරුවෙන් අල්ලගෙන ඉදලා දිනපු අරගලය මේක.

කවුරුත් කවමදාවත් හිතුවේ නෑ සිංහයො වගේ හිටපු රාජපක්ෂලා මේ විදිහට පසුබසී කියලා. ඔවුන්ට ඉහලින් යන්න පුළුවන් කියලා ලාංකික වැසියන් දැනගෙන හිටියෙ නැහැ. මොකද මේ අවුරුද්ද පටන් ගන්න තුරු එහෙම හපනෙක් හිටියෙ නැති නිසා සහ මිනිස්සු දන්නවා රාජපක්ෂ විරෝධියෙකුට අන්තිමේ දි හිමිවෙන්නේ අභිරහස් මරණයක් කියලා. ඒ නිසා මිනිස්සු කටක් අරින්න බය උනා. ඒත් මේ හැමදේම විසදන්න පුළුවන් උනා මේ එක්සේසත්කමින් ඒ වගේමයි වහල්භාවයෙන් මිදිලා ලෝකයට ඇස් විවෘත කරපු නිසා.

මුළු ලෝකයක් ඉස්සරහ අද අපි වීරයො වෙලා. හැම රටකම ප්‍රවෘත්තියක උඩින්ම ඉන්නෙ ලංකවෙ අරගලකරුවො, මහ ජන කුණාටුවට අසු වෙච්ච රාජපක්ෂ රූස්ස ගස කඩා වැටුන විදිහ, ඉතින් අපිට තවත් මොනවද ඕනෑ..? කාලයක් අපි ලෝකය ඉස්සරහ බැබලුනේ දූෂිත දේශපාලනය රජ උන රටක් විදිහට මේ වෙද්දී ඒ ක්‍රමය පෙරළන්න සමස්ථ ලාංකික ජනතාවටම පුළුවන් වෙලා තියෙනවා.

තවත් අපිට ජයගන්න තියෙන්නෙ බොහොම ටිකයි. අපි හැමෝම කතා උනු විප්ලව කරලා දකින්න ඕනි උනු සිස්ටම් චේන්ජ් එකට අපි මේ වෙද්දී මුළ පුරලා තියනවා. ඉතින් අවසානෙට කියන්න තියෙන්නේ අවුරුදු 74ක් 225+1 දිහාම බලාගෙන හිටිය වගේ තව කෙනෙක් දිහා බලා ගෙනම ඉන්නෙ නැතුව සිස්ටම් චේන්ජ් කරන්න තමන් තුලම විප්ලවයක් ඇති කරගන්න කියලා. එතකොට අපිට සාපයක් උනු මේ සිස්ටම් එකෙන් ගැලවෙන්න ඉක්මනින්ම පුලුවන් වේවි.

අරගලයට ජය!

-හේෂානි කරුණාරත්න –

සිතුවම – Muvindu binoy

Social Sharing
නවතම විශේෂාංග