මේ රට පත්ව ඇති තත්වය පිළිබඳව අංශුමාත්‍රයක හැඟීමක් හෝ දැනීමක් නැතිව සිහිමූර්ඡා වී සිටින ආණ්ඩුව හිටි ගමන් බස්නාහිර පළාත තුළ පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
මේ බියගුළු නින්දා සහගත ක්‍රියාව වර්තමානයේ රට මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව යම් පමණක හෝ දැනුමක් ඇති කිසිවෙකුට ගත හැකි තීරණයක් නොවේ.
මේ වන රටේ ජීවත්වන ජනතාවගෙන් වැඩි කොටසක් සිටින්නේ පෝලිම්වල ය. ඇතැමුන් දින දෙක තුන පෝලිම් වල සිටී. විශේෂයෙන්ම බස්නාහිර පළාත ආශ්‍රිතව ඒ තත්ත්වය අතිශයින් උග්‍ර ය. එලෙස පෝලිම් වල සිටින ජනතාව අතරමං කොට මේ බියගුළු ඇඳිරි නීතිය පනවා තිබේ.
තමන්ට එරෙහිව සුනාමියක් සේ නැඟඑන ජනතා විරෝධයට බියපත්ව ආණ්ඩුව උන්මත්තක ලීලාවෙන් හැසිරෙන අතර මේ හදිසි ඇඳිරිනීතිය එහි ආසන්නම ප්රතිඵලයයි.
තවත් මෙබඳු කඩාකප්පල්කාරී මර්ධනකාරී කටයුතු රැසක් ආණ්ඩුවේ න්‍යාය පත්‍රය තුළ ඇති බවට ද සැක නැත.
මෙබඳු ප්රජාතන්ත්රවාදී අරගල වලට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝග ඉල්ලීමට පොලිසිය මීට පෙර කටයුතු කළ ද අධිකරණය ජනතා අයිතිවාසිකම් පිළිගනිමින් සාමකාමී උද්ඝෝෂණයන්ට අවසර ලබා දී ඇති අතර මෙවැනි පොලිස් ඇඳිරි නීති වලට මුවාවී ජනතා අරගල මැඩ පැවැත්වීමට කටයුතු කරන්නේ නම් එය පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් කරගනු ලබන බරපතළ වරදක් වනු ඇත.
පොලිසිය ඇතුලු ආරක්ෂක අංශ කළ යුත්තේ මෙවැනි ඇඳිරි නීති පැනවීම් නොව ජනතාවගේ පැත්තේ හිට ගනිමින් ඔවුනට ආරක්ෂාව සලසා දීමය.
ප්රජාතන්ත්රවාදී අරගලයන්ට මෙතරම් බිය වුණු ආණ්ඩුවක් ඉතිහාසයේ කිසි දිනක තිබී නැති අතර ආණ්ඩුවේ මෙවන් බියගුළු උත්සාහයන් තුලින් සිදුවන්නේ ජනතාවගේ උද්යෝගය තව තවත් වර්ධනය වීම බව බවද අපි ආණ්ඩුවට අවධාරණය කරමු.
එමෙන්ම, මේ දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීමේ අරගලය ආණ්ඩුවේ මෙවැනි ප්‍රාථමික බියගුළු ක්‍රියාවලින් මැඩ පැවැත්විය නොහැකි බවද අපි අවධාරණය කරමු.