ජනාධිපති කරුමයක් වූ විට…

-කේ. සංජීව-

අද ජූලි 09. ලංකාවට වැදගත් දවසක්. මේ දවස උදාවෙන්න පැය කිහිපයක් තියෙද්දී වුණ දේවල් අපි දැක්කා. ඊයේ (8) ඉඳලා අයි ඕ සීය ඉන්ධන බෙදන එක නතර කළා. ලංගම ඩිපෝවලින් පුද්ගලික ප්‍රවාහනයට නිකුත් කරන ඉන්ධන ලංගමයේ පොහොට්ටු වැඩකරන සමිතියක් විසින් වළක්වලා කියලා ආරංචි වුණා. ඒ අතරේ හවස් වෙනකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනයක් නිකුත් කළා වර්තමානයේ උද්ගත ප්‍රශ්න සියල්ල එලබෙන 12 වෙනිදා වෙනකොට අවසන් කියලා. සන්සුන්ව ඉන්න කියලත් කීවා. විපක්ෂයේ ගැටවලට අහුවෙන්න එපා කියලත් කිව්වා. ඊට ටික වේලාවකට පස්සේ පොලිස්පති නිවේදනයක් දාලා කිවේ ඊයේ (8) රෑ 09 ඉඳලා කොළඹ පොලිස් කොට්ඨාස කීපයකට ඇඳිරි නීතිය දානවා අයින් කරන දිනයක් තමනුත් දන්නේනෑ කියලා. ඒවගේම දුම් රිය සාමාන්‍යාධිකාරීවරයා අද උදේට කොළඹ බලා එන්න නියමිත දුම් රිය ධාවනය කරන්නේ නෑ කියලා කීවා. මෙහෙම තමයි දවස ගෙවුනේ. ඒත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹට ආවා. ඒ විතරක් නෙවෙයි රජයේ ඇඳිරි නීතිය බල්ලට දාලා කොටුවේ වාඩිලාගෙන උද්ඝෝෂණයේ නිරත්වුණා.

මේ අතරේ පොලිස්පති හොර රහසේම අර පොලිස් කොට්ඨාශවලට ලියනවා තමන් දින නියමයක් නැතුව පනවපු ඇඳිරි නීතිය උදේ 08ට අවසන් කරන්න කියලා. ඇයි එහෙම වෙන්නේ? ඒක තමයි ජනතා අරගලවල ස්භාවය.

මේ ලිපිය ලියන මේ මොහොත වෙනකොට ජූලි 09 උදාවෙලා. වෙලාව උදේ 09යි. ඊයේ රෑ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව කියපු කිසි දෙයක් ජනතාව තඹ සතේකට මායිම් කරලා නෑ කියන දේ තමයි මේ වෙනකොට කියවෙන දකින ඇසෙන කතාව. මාතර රුහුණු කුමාරි දුම් රිය ජනතා විරෝධය නිසා උදේ 08ට මාතරින් පිටත් කරන්න දුම්රිය බලධාරීන්ට සිද්ධ වෙනවා. මේ දුම්රිය ධාවනය යතාවත් කරන්නේ මුලින්ම නුවර මිනිස්සු. නුවර දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති දුම් රිය ධාවනයට ලියුමකින් අවසර ලබාදීමේ සිද්ධිය මේවෙනකොට සමාජ මාධ්‍යයේ විශාල කතාබහක් ඇති කරලා තිබෙනවා. අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙත් ලොකු උද්ඝෝෂණයක් අපි දැක්කා වහාම කොළඹට දුමිරිය ධාවනය කරන්න කියලා. ඒ වගේම ගාල්ලේ දුම්‍ රිය ස්ථානයට කොළඹ යන්න ආපු විශාල ජනතාවක් කිව්වේ අරගලයට කොළඹ යන්න කෝච්චි දෙන්නේ නැත්තං ගාල්ල ක්‍රිකට් තරඟය කරන්න දෙන්නේ නෑ කියලා. ගාල්ලේ මිනිස්සු දිනනවා ඔවුන්ටත් කොළඹ එන්න කෝච්චි ලැබෙනවා.

මේ වෙනකොට නෙක දුෂ්කරතා තිබුණත් ජනතාව විශාල වශයෙන් කොළඹට එමින් ඉන්නවා. පොලිස්පතිවරයා අනීතිකව ජනාධිපතිගේ නියෝගවලට වහල් වෙලා දාපු බොරු ඇඳිරි නීතිය නිසා ජනතා උද්‍යෝගය දෙගුණ තෙගුණ වුණා. ඒකට පොලිස්පතිවරයාට ස්තූතියි කියන්න අවශ්‍යයි. ඒත් එක්කම කියන්න ඕනෑ පොලිස් සේවය මේතරම් බාල්දු කළ හෑල්ලු කළ දෙකයි පනහට වීසි කරපු පොලිස්පතිවරයෙක් පොලිස් ඉතිහාසයේ මීට කළින් ඉඳලා නෑ. ඒ අනුව වික්‍රමරත්න මහත්තයාගේ නම ඉහළින්ම ලියවෙනවා ඒ පොලිස් ඉතිහාසයේ.

මේ හැමදේකින්ම ජනතාව දෙන පණිවිඩය මොකද්ද? අන්න ඒකයි වැදගත්. මේ හැමදේකින්ම ජනතාව කියන්නේ වර්තමාන ජනාධිපති තමන්ගේ රටේ ජනාධිපති විදිහට පිළිගන්න බහුතරයක් ලාංකිකයන් සූදානම් නෑ කියන දේ. ඒකියන්නේ ජනතා විශ්වාසය බිංදුවයි. ජනතා විශ්වාසය නැති තැනක ජනාධිපතිවරයෙක්ට පැවැත්මක් නෑ. ඔහුගේ නියෝග අද ජනතාව පිළිගන්නේ නෑ. හෙට හමුදාව සහ පොලීසියත් ඔහුගේ නියෝග බැහැර කරාවි. දැනටත් සමහර උසස් පොලිස් නිළධාරීන් කියන්නේ රටට ජනාධිපතිවරයෙක් නෑ කියලා. ඒනිසා වර්තමාන ජනතා විශ්වාසයක් නැති (ඒ නිසාම) නාමික තත්ත්වයට පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තිබෙන්නේ දැන් වහාම ධුරයෙන් අයින් වෙන්න. පාර්ලිමේන්තුවට තාවකාලිකව ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් තෝරාගෙන තමන් මේ රටට උරුම කරපු කරුමයෙන් ගැලවෙන්න පොටක් පාදාගන්න ඉඩ හදන්න අවකාශ සලසා දීලා ඔහු තමගේ පුටුවෙන් බැහැලා තමන්ගේ රට වුණ ඇමරිකාවට වහාම යන එක තමයි ඔහුට මේ වෙලාවෙ ගන්න තියෙන බුද්ධිමත්ම තීරණය.

ඒක එහෙම නොවුණොත් ලේ වැකි අනාගතයක් මේ රටට උරුම වෙන්න පුලුවන්. ඒ නිසා ඔහුට උපදෙස් දෙන කේවට්ටයනුත් ඔහුව පුටුවෙන් බිමට ගැනීම සඳහා දිරිගැන්විය යුතුයි.

ජනතා අරගලය මෙහෙම යන අවකාශයේ පාර්ලිමේන්තුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ වර්තමාන ආණ්ඩුව වට්ටලා සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්නට උත්සාහ ගනිමින් ඉන්නවා පේනවා. ඒක හොඳ දෙයක්. මීට සෑහෙන්න කළින් කරන්න තිබුණ වැඩක්. කොහොමවුණත් නායකත්ව මණ්ඩලයක් සමග සීමිත කැබිනට්ටුවකින් වැඩේ ඉස්සරහට දුවන් ස්වරූපයක් දැනට තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ සහ පොහොට්ටුවේ රාජපක්ෂ හිතවාදී සුළුතරය ඇරෙන්න අනෙක් සියලු මන්ත්‍රීවරුන් මේ වැඩේ ඉන්නවා කියලා දැනගන්නට ලැබෙනවා. මේ ආණ්ඩුව පිහිටුවන්න නායකත්වය දෙන අය කියන්නේ ජනාධිපතිගේ අභිලාෂයන් තමන්ට වැඩක් නෑ තමන් ජනාධිපති කෙනෙක් නෑ කියලා හිතලා තමයි ඉස්සරහට වැඩ කරන්නේ කියලා.

මේ හැමදෙයක්ම කියන්නේ ගෝඨාභය රාජපක්ෂට ජනතාව දුන්න කාලය අවසන් කියලා. ඇත්තටම ජනතාව ඔහුට සෑහෙන්න කාලයක් දුන්නා. ඒත් ඒ කිසි දෙයක් ඔහු ගානකට ගත්තේ නෑ. ඔහුගේ කුඩා මොළයට ඒ අවස්ථාවන් පිළිබඳව තේරුන් ගන්න බැරිවෙන්න ඇති. කොහොම වුණත් මේ රටට සහ රාජපක්ෂ පවුලට ඉදිරිය සුබ වෙන්න නම් ප්‍රමාද නොවී ගෝඨාභය රාජපක්ෂ තනතුරෙන් බැහැලා යන්න තීරණය කළ යුතුයි.

Social Sharing
නවතම විශේෂාංග