අපි උඹව දන්නවා..!

බීබර් ගායකයෙක් විදිහට ප්‍රසිද්ධ වෙන්න ගන්නේ 2007 අවුරුද්දේ ඉඳලා. එතකොට ඔහුට වයස අවුරුදු 13 යි. ඒ කියන්නෙ 2010 My World 2.0 ඇල්බම් එකේ තිබ්බ Baby සින්දුව ලොව පුරා උන්මාදයක් බවට පත් වෙද්දි බීබර්ගෙ වයස දාසයයි. ඒ කියන්නෙ, ලංකාවෙ නම් ඕලෙවල් ලියන වයස.

හැබැයි ලෝකය බීබර්ව බාරගත්තෙ ළමයෙක් විදිහට නෙමෙයි. වැඩිහිටියෙක් විදිහට. ඒකට බීබර් කියපු ගීතත් හේතු වෙන්න ඇති. ඒත් බීබර් කියන මෙලෝ දෙයක් නොදන්න පොඩි එකාට ඒ කාලේ අපි මොනවද නොකිවුවෙ..?

බීබර්ට දැන් 28 යි. බීබර් මීට අවුරුදු දෙකකට කලින් Lonely සින්දුව එලිදක්වනවා. ඒක අහපු මගේ හිත පුරා මාර වරදකාරී හැඟීමක් දුවන්න ගන්නවා. අවුරුදු 13 ක ළමයෙක් විදිහට, අවුරුදු 16 ක යෞවනයෙක් විදිහට බීබර් විඳපු වේදනාවන් මට දැනෙන්න ගන්නවා. ඒත් එතකොට මම පරක්කු වැඩියි.

මම සින්දුව අහපු මුල්ම දවසෙම ඒක සිංහලට පරිවර්තනය කලා. මේක ඇවිල්ලා සින්දුවේ Direct Translation එකක් නෙමෙයි.

සියල්ලෝ දැන් මා හඳුනති.
එහෙත් තවමත්
නොවිසඳුණු යමක් ඇත.
එසේ සිතෙනා සෑම මොහොතක
කැඩපත් තිරය මත
මා නොවනා
අනෙකෙකු මම දකිමි.

අපගේ ජීවිත ඇතුලු,
සියල්ල වෙනස් වී ඇත.
එය එක්තරා වේදනාවකි.
මා වියපත් වූ පසු
මේ සියලු වේදනාවන් පහව යනු ඇත.

එහෙත් මේ මොහොත තුල
එය මා මරණීය වේදනාවට සමීප කරයි.

මගේ නිවස වීදුරු වලින්
සාදා තිබුණාක් මෙන්,
මගේ අතීතයේ සෑම අංශුවක්ම
සියල්ලෝම දනිති.

සමහරක්විට එය බාල වියේදී ලබනා
අසීමිත පොහොසත්කමට
සහ අසීමිත ප්‍රසිද්ධියට
ඔබේ ගෙවීම විය හැකිය.

සියල්ලෝම මා ලෙඩෙක් ලෙස දුටුවෝය.
මගේ වේදනාවන් දැක දැකත්..,
මා ගණන් නොගෙන සිටියෝය.
මා මෝඩ ගැටයෙකු ලෙස කල සියලු
අගතීන් ඔවුහු විවේචනය කලෝය.

ඔබට නැතැයි කියා සිතෙනා
කිසිදු දෙයක් නොමැති කලක
ඔබට අහිමි එකම දේ
කතා කරන්නට අයෙකු නම්
ඔබට මා වැටහෙනු ඇත.

මිතුරණි..,

මට සවන් දෙන්නෙකු හැරෙන්නට
සියල්ලම තිබුණි.
මම එය හුදෙකලාව යයි හඳුන්වමි.

මම එය විඳිමි. විඳවමි.

ජේ.බී. ගේ මුහුණේ එක් පසක් අජිවී වෙලා කියන පුවත අද උදේ දකින්න ලැබෙනවා. මේ ලෙඩේ නම Ramsay Hunt syndrome. J.B. උදෑසන මේ ලෙඩ මූණත් උස්සන් කරපු Selfie Video එක මේ වනවිට Viral යමින් තිබෙනවා.

J.B. ට ඉක්මනින් සුවය ලැබේවි. Lonely සින්දුව මගේ ඔලුව ඇතුලෙ මේ දැනුත් කෑ ගහනවා.

“What if you had it all
But nobody to call?
Maybe then you’d know me”

ඔව් මචං..,

මම උඹව දන්නවා !!
අපි උඹව දන්නවා !!

උපුටා ගැනීමකි

Social Sharing
නවතම විශේෂාංග