ආයෙත් තෙල් නෑ

දැනට ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තෙල් ලැබුණ නිසා තෙල් අර්බුදය තාවකාලිකව සමනය වුණත් තව සති දෙකකින් උග්‍ර ඛනිජ තෙල් අර්බුදයක් එන්නට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිළධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ සති දෙකකට ප්‍රමානවත් තෙල් තොග මෙරට මේවනවිට තිබෙන බවයි. ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඔටෝ ඩීසල් මෙ.ටො 18,825ක්, සුපර් ඩීසල් මෙ.ටො 42ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙ.ටො 33,498ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙ.ටො 13,067ක් සහ ගුවන් යානා ඉන්ධන මෙ.ටො 386ක් ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

එහෙත් මෙම තොගය අවසන් වූ පසුව ලංකාවට තෙල් ගෙනවා ගන්නට නිසි ක්‍රමයක් නැති බව ප්‍රකාශ කරන තෙල් සංස්ථාව එම තත්ත්වය තුළ නැවත තෙල් අර්බුදය උත්සන්න විය හැකි බව අනතුරු අඟවයි. මේවනවිට වැසී තිබුණ සපුගස් කන්ද තෙල් පිරිපහදුව සක්‍රීය කර තිබුණත් එහි බොර තෙල් මෙ.ටො 90 000ක් පිරිපහදු කරන්නට සූදානම් වුණත් ඒ සඳහා යම් කාලයක් ගත වෙන බවත් ප්‍රකාශ කරන සංස්ථා සේවකයින් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ගෙන්වා තිබෙන බොරතෙල් රසායනික සංයුතිය අනුව එම බොරතෙල් සංචිතයෙන් ඩීසල් සහ පෙට්‍රල් නිපදවා ගත හැක්කේ 17%ක් පමණ බව ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම