පොලිසිය “පොලිෂ්” කළ ඉලංගකෝන් යුගය

නුග ගහ කපල්ලේ ඉලංගකෝන් මහතා පොලිසියේ මුල් පුටුවට පත්වූයේ කවුරුත් නොසිතූ මොහොතකය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තිස් දෙවන පොලිස්පති වරයා ලෙස සේවය කළ මහින්ද බාලසූරිය මහතා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ සිදු වූ පොලිස් වෙඩි තැබීමක් හේතුවෙන් “රොෂේන් චානක” නමැති තරුණ සේවකයා මිය යෑමේ සිද්ධිය මුල් මුල්කොට එවකට පැවති රජයේ දැඩි බලපෑම මත බාලසූරිය මහතාට පොලිස්පති ධුරයෙන් අකාලයේ සමුගැනීමට සිදුවිය .මෙම සිද්ධිය  හේතුවෙන් හිස් වූ පොලිස්පති  ධූරයට පත් කිරීමට වඩාත්ම  සුදුස්සා ලෙස සිටියේ එවකට පොලිසියේ දෙවනියා නොහොත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙස කටයුතු කළ ඉලංගකෝන් මහතාය. එහෙත් පොඩි පරහකට තිබුනේ “පෞද්ගලික දේශපාලනයක්” නොමැති කිසිදා දේශපාලනඥයින් පසුපස නොගිය.රෑලට  වැඩකරන  ඉලංගකෝන් මහතා වැනි අයකු එවකට ක්‍රියාත්මක වූ දේශපාලන වටපිටාව මැද පොලිස්පති තනතුරට පත් කරාවිද   යන සැකය බොහෝ දෙනෙකු තුළ විය.

ඒ අතරතුර කනින් කොනින් පැතිර ගිය ආරංචි වූයේ එවකට ජනාධිපති ආරක්ෂක අංශයේ භාරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පතිවරයා ජේෂ්ඨත්වය නොසලකා පොලිස්පති ධූරයට පත් කිරීමේ සූදානමක් පවතින බවය. තවත් සමහරුන් මත පල කරමින් කියා සිටියේ 1956 බලයට පැමිණි බණ්ඩාරනායක මහතා සිදු කළාක් මෙන් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගැන නොසලකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් වරයෙකු පොලිස්පති තනතුරට පත් කිරීමේ සූදානමක්ද ඇති බවය. වසර තිහක යුද්ධය අවසන්කල ත්‍රිවිධ හමුදාවන්ගේ දස්කම් ගැන මුළු රටම කතා කරමින් සිටි මෙම වකවානුවේ එම පුවත ද කිසිවකු පහසුවෙන්  බැහැර කිරීමට සූදානම් නොවීය. එහෙත් සියළු පුවත් කටකථාවන්ටම  පමණක්ම සීමා කරමින් එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා විසින් එන් කේ ඉලංගකෝන් මහතා ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තිස්තුන්වන පොලිස්පති වරයා බවට පත් කිරීමේ ලිපියට 2011  ජූනි මස 23 වන දින  කොළඹ රජ ගෙදරදී  අත්සන් කරමින් පොලිස් සේවයේ ගෙවී යමින් තිබූ අඳුරු යුගයට  අරුණාලෝකය එක් කිරීමට  එදා සමත් විය.

ඉලංගකෝන් මහතා වූ වසර හතරයි දින 290 ක් ශ්‍රී ලංකා පොලිසිය නැමැති නෞකාවේ සුක්කානම හෙබවූ නැව්පතියාව සිටියේය. වසර 40ක් වූ මගේ සේවා කාලය තුළ දේශපාලනයට ගැති නොවී තම රාජකාරිය වඩාත් ස්වාධීනව සහ කාර්යක්ෂමව ඉටුකළ  එමෙන්ම අවංකභාවය ප්‍රතිමූර්තින් ලෙස සැලකිය හැකි පොලිස්පතිවරුන් දෙදෙනෙකු යටතේ සේවය කිරීමට මම භාග්‍ය ලදිමි. ඉන් එක් නිලධාරියෙකු වන්නේ  1985 දෙසැම්බර් මස 7 වන දින  ශ්‍රී ලංකා පොලිසියේ 22 වන පොලිස්පතිවරයා ලෙස පත්ව වසර2 දින 230ක් පොලිස්පති ධුරය හෙබවූ සිරිල් හේරත් මහතා වන අතර අනෙක් නිලධාරියා අවිවාදයෙන්ම ඉලංගකෝන් මහතා ම විය.

ඉලංගකෝන් මහතා  ඔහුටම ආවේණික සුවිශේෂ ක්‍රමයකට පොලිසිය පාලනය කළේය. අවංකභාවය ප්‍රතිමූර්තියක් බඳු වූ එතුමා කිසිදු අවස්ථාවක කිසිවකුට තමා වෙත ඇඟිල්ල දිගු කිරීමේ අවකාශය සලසා දුන් අයකු නොවීය එතුමාගේ අවංකභාවය අපක්ෂපාතීත්වය මෙන්ම විශිෂ්ට ගණයේ පෞරුෂය ගැන ගෙතුණු කතා රාශියකි.

එක් පාර්ලිමේන්තු මැතිවරණ සමයක මැතිවරණ නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කිරීමට ඔහු තම නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මැතිවරණ අපේක්ෂකයන්ගේ ඡායාරූප රැගත් පෝස්ටර් කටවුට් ඉවත් කිරීම සඳහා සෑම පොලිසියක් වෙතම නිලධාරීන් සහ කම්කරුවන් කණ්ඩායම් පත්කෙරුණේ පොලිස්පති වරයාගේ ම නියෝග අනුවය. කන්ද උඩරට ප්‍රදේශය බලවත් විවාදාත්මක ප්‍රකාශ සිදුකරන එකල ප්‍රබල ඇමතිවරයෙකු මැතිවරණ සමයේ දිනක  දුරකථනයෙන් පොලිස්පතිවරයා ඇමතීය.

“පොලිස්පති තුමා මොකද මේ පොලිසියේ අපේ පෝස්ටර් කටවුට් ගලවන්නේ”

“ඇමතිතුමා ඒක මැතිවරණ නීතිය”

ඉලංගකෝන් මහතා පුරුදු ලෙස  ඉතා සංසුන්ව පිළිතුරු දුන්නේය

“ඒක හරි කතාවක්නෙ අපි ලක්ෂ ගණන් වියදම් කරලා පෝස්ටර් ප්‍රින්ට් කරලා තියෙන්නේ ඒවා අපේ වැසිකිළිවල අලවාගන්න ද ?”

“ඒක නම් ප්‍රශ්නයක් නෑ ඇමතිතුමා වැසිකිලිය පොදු ස්ථානයක් හැටියට ගණන් ගන්නේ නෑ”

ඉලංගකෝන් මහතාගේ පිළිතුර අවසන් වීමටත් ප්‍රථම “දඩාස්”යන හඬින්  ඇමතිවරයාගේ දුරකථනය විසන්ධි වෙනවා ඔහුට ඇසුණේය. එවන් පෞරුෂයකින් යුත් නිලධාරීන් සැමවිටම පොලිසිය බැබලචු බව ඔවුන්ට කරන ගෞරවයක් ලෙස මෙහි සඳහන් කරමි.

ඉලංගකෝන් මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙස * රජරට ප්‍රදේශයේ සංචාරයක යෙදී සිටියදී එක්තරා පොලිස් ස්ථානයක මිදුලේ ඉතා විචිත්‍රවත් මලින් පිරුණු මල් පෝච්චියක් විය කවදත් පරිසරයට ඇලුම් කරන ඔහු ස්වල්ප මොහොතක් නැවතී මල් ගසේ විචිත්‍රවත් බව   වින්දනය කලේ ” ලස්සන මල් ගහක්” යයි සෙමින් මුමුණමිනි

දින කිහිපයක ඇවෑමෙන් එතුමා කාර්යාලය වැඩ අවසන්ව නිල නිවසට යන විට එදා පොලිස් ස්ථානයේ දී දුටු විචිත්‍රවත් මල් පෝච්චිය සිය නිල නිවස ඉදිරිපිට තිබෙනවා දුටුවේය කරුණු විමසීමේ දී නිවසේ සේවකයෙකු හෙළි කළේ පොලිස් ස්ථානාධිපති වරයෙකු පොලිස් ජීප් රථයෙන්ම පැමිණ මල්පෝච්චි මිදුලේ තබා ගිය බවය පසුවදා කාර්‍යාලයට ගිය  ඉලංගකෝන් මහතා එම පොලිස් ස්ථානය අයත් පොලිස් කොට්ඨාසය ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා අමතා තම නිවසට අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා විසින්  රැගෙන පැමිණ ඇති මල් පෝච්චිය වහාම රැගෙන යන ලෙස ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන ලෙසට ජේෂ්ඨ පොලිස් අධිකාරි වරයාට නියෝගකර සිටියේය.   ඒ සමගම පොලිස් මූලස්ථානයේ ප්‍රධාන ගණකාධිවරයාගේ අණින් අදාල ස්ථානාධිපතිවරයා සේවය කළ පොලිස් ස්ථානය අයත් පොලිස් කොට්ඨාශය  ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත  නිකුත් වූ ලිපියකින් කියැවුණේ අදාළ පොලිස් ස්ථානයේ සිට කොළඹට පැමිණීමට සහ ආපසු ඒමට ගතවන දුර සොයා බලා ඒ සඳහා රජයේ වාහනයක් භාවිතා  කිරීමට යන මුදල ගණනය කර අදාළ මුදල පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැටුපෙන් වාර හයකට අයකර ගන්නා ලෙසය. එසේම ඔහුගේ නිදහසට කරුණු විමසීමට ද ඉලංගකෝන් මහතා  අමතක නොකළේය.

තවත් විටෙක එතුමාට නිල සංචාරයක් අතරතුර අනුරාධපුර සංචාරක බංගලාවේ රාත්‍රිය ගත කිරීමට සිදුවිය. පසුදින  උදේ ආහාරය සඳහා ඉතා සරල දේශීය ආහාර වේලක් සකස් කරන ලෙසට ඔහු ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මගින් සංචාරක නිවාසය භාර පොලිස් පරීක්ෂකවරයාට උපදෙස් දී තිබුණේය. උදේ පාතරාසය සඳහා එතුමා පැමිණෙන විට සංචාරක බංගලාවේ කෑම මේසය මගුල් ගෙදරක කෑම මේසෙක සිරි ගත්තේය නේක වර්ග ආහාර සමඟ පලතුරු වලින් ද උදේ ආහාර මේසය පිරී පැවතියේය. කරුණු විමසීමේදි  බංගලා භාරකරු කියාසිටියේ කොට්ඨාශයේ  ඉහළම නිලධාරීන් දෙදෙනෙකු පැමිණ පොලිස්පති වරයා වෙනුවෙන් උදේ ආහාරය එලෙස පිළියෙල කළ බවය. තමා  කලින් දින ඇණවුම් කළ  කෑම වේල ගැන විමසීමේදී ඉලංගකෝන් මහතාගේ හැටි දන්නා සංචාරක නිවාස භාරකරු පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව සකස් කරන ලද ආහාර වේලද සූදානම් බව එතුමාට දන්වා සිටියේය. එම සරල ආහාර වේල ලබාගත් පොලිස්පතිවරයා ඒ සඳහා නියමිත රජයේ ගාස්තුව බංගලා භාරකරු වෙත ගෙවා රිසිට් පතක් ද රැගෙන සංචාරක නිවාස යෙන් පිටව ගියේ උසස් පොලිස් නිලධාරීන් පිළියෙල කළ ආහාර ආපසු ඔවුන් වෙතම   යවන ලෙසට බංගලා භාරකරු දැනුවත් කරමිණි. ඒ ඉලංගකෝන් මහතාගේ හැටිය.

ඔහු වරද දුටු තැන වරද නිවැරදි කළේය තරමක් දැඩි විනය පාලකයෙකු ලෙස ප්‍රකට ඔහු හැම විටම කටයුතු කළේ ශ්‍රී ලංකා පොලිසියේ ගෞරවය ආරක්ෂා වන ආකාරයටය. ඔහු  කිසිදු දේශපාලනඥයෙකු ඉදිරියේ නොනැමුණු  අතර එතුමා   සතුව පැවති විශිෂ්ට පෞරුෂය උපයෝගි කර ගනිමින් හැමවිටම නිවැරදි දේ ඉටු කිරීමට ක්‍රියා කළේය. එබැවින් දේශපාලනඥයින් පමණක් නොව ඔවුන්ට පන්දම් අල්ලන අන්තේවාසිකයන් ද කිසිදා ඉලංගකෝන් මහතා වෙත කිසිදු අනිසි ඉල්ලීමක් ඉදිරිපත් නොකළ බව බොහෝ දෙනා  දන්නා කරුණකි. ජාතික ආරක්ෂාව සම්බන්ධව ඉතා ඉහළින් කටයුතු කල එතුමාගේ  මූලිකත්වයෙන් සංවිධානය කරනු ලබන සියලුම රාජ්‍ය උත්සවවල ආරක්ෂක කටයුතු සම්බන්ධව පෞද්ගලිකවම සොයා බැලීමට  ඔහු  සැමවිටම කටයුතු කළ අතර එල්ටීටීඊ සංවිධානය ක්‍රියාකාරකම් ඉතා ප්‍රභලව පැවති වකවානුවක බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුල පැවති “දැයට කිරුළ” උත්සව භූමිය වෙත යුධ හමුදා කර්නල්  වරයෙකුගේ අනුග්‍රහය ඇතිව මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු රිංගවා උත්සව භූමිය තුළදී ජනාධිපතිවරයා ඝාතනය කිරීමට එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකරන ලද සැලැස්ම ව්‍යාර්තව ගියේ ඉලංගකෝන්  මහතා හිස් මුදුනින් සැලකූ  “සැමට එක නීතියක්” න්‍යායට අනුව යුධ හමුදා මෙන්ම පොලිස් නිලධාරීන් ද ඔවුන් කැටුව එන අය ද සාමාන්‍යයෙන් මහජනතාව පරික්ෂා කරන ආකාරයටම  ශරීර පරීක්ෂාවකින් තොරව උත්සව භූමියට ඇතුළත් නොකිරීමට ඉලංගකෝන් මහතා පෞද්ගලිකවම ගන්නා ලද තීරණයක් හේතුවෙන් බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි.

ඉලංගකෝන් මහතා පොලිස්පති ධූරයට පත්වන අවස්ථාව වනවිට පොලිස් නිලධාරින්ගේ වැටුප් පැවතියේ ඉතා පහළ මට්ටමකය.  විශේෂයෙන්ම කනිෂ්ඨ  නිලධාරීන්ට ඉතා අඩු වැටුපක් නියමිතව තිබූ  අතර  එතුමාට පෙර සේවය කළ ජ්‍යේෂ්ඨ නිලධාරීන් බොහෝ දෙනෙකු පොලිස් නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීම සම්බන්ධව කිසිදු උත්සාහයක් දරා තිබුණු බවක්ද පෙන්නුම් නොකළේය . පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව සාකච්ඡා කළ එක් වකවානුවක හිටපු පොලිස්පති වරයෙක් පොලිස් නිලධාරීන් විසින් පොලිස් ඉතිරිකිරීමේ සංගමයේ ඒ වන විට ඉතුරු කර තිබූ විශාල මුදලක් රජයට පෙන්වා පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම අත්හිට වූ බවට ද ඒ කාලේ කතාවක් පැතිර ගියේය .කෙසේ වෙතත් ඉලංගකෝන් යුගය පොලිස් ඉතිහාසයේ සඳහන් වන්නේ පොලිස් නිළධාරීන්ගේ වැටුප සියයට  පනහකටත් වැඩි සංඛ්‍යාවකින් වැඩි කළ යුගයක් ලෙසය.

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකරන ලද සංකීර්ණ වූත් භාරදූර කාර්යයන් ලෙස ගැනෙන්නේ 2012 වර්ෂයේදී වර්ෂයේ දී කොළඹ දී පවත්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකවරුන්ගේ සම්මේලනය සහ 2015 වර්ෂයේ ජනවාරි මාසයේ දී සිදුකරන ලද අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් තුමාගේ ශ්‍රී ලංකා සංචාරයයි  මෙම රාජකාරීන් දෙක සඳහා පොලිසියේ සමස්ත නිලධාරීන් සංඛ්‍යාවෙන් සියයට 50කට වැඩි කොටසක් යෙදවීම සිදු කරන ලද අතර ප්‍රභූ ආරක්ෂාව, රථවාහන සැලසුම් ක්‍රියාත්මක කිරීම, මහජනතාව හැසිරවීම සඳහා නිලධාරීන් යෙදවීම රාජකාරි සඳහා යොදවන නිලධාරීන්ගේ  සුභසාධනය බුද්ධි තොරතුරු ලබා ගැනීම වැනි මෙකී නොකී රාජකාරි සමුදායකගෙන් සමන්විත වූ මෙම රාජකාරීන් දෙකම ඉලංගකෝන් මහතාගේ නොසැලෙන නායකත්වය සහ මඟ පෙන්වීම මත අංශුමාත්‍රයක හෝ වරදක් දෝෂයක් නොමැතිව ඉතා සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සමත් විය. විශේෂයෙන්ම පාප්තුමාගේ ලංකාගමන සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය විසින් ඉටු කරන ලද කාර්යභාරය පාප්තුමා  වතිකානුවට ගිය පසු  එතුමාගේ පෞද්ගලික අත්සනින්ම පොලිස්පති තුමා වෙත යොමු කරන ලද ලිපියක් මගින්  ප්‍රශංසාත්මකව ඇගැයුමට ලක් කළ බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි.

එතුමාගේ මුළු මුළු සේවා කාලය තුළ ඔහු කිසිවිටකත් තනතුරු හඹා නොගියේය සැමවිටම සිදුවූයේ තනතුරු ඔහු සොයා පැමිණීමය. මුළු සේවා කාලය තුළ ම ඉලංගකෝන් මහතා කිසිදු අවස්ථාවක මාධ්‍ය සංදර්ශන පැවැත්වූ අයකු නොවීය පොලිස්පති ධුරය හෙබවූ හෙබවූ කාලය තුළ ඔහු මාධ්‍ය ඉදිරියේ  පෙනී සිටි අවස්ථා අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ය.

වසර 60 සම්පූර්ණ වීමෙන් පසු අනිවාර්ය විශ්‍රාම ලැබීම යටතේ පොලිස්පති ධූරයෙන් සමුගැනීමට එතුමා කටයුතු කළ අතර පොලිස් සේවයෙන් සමු ගැනීමෙන් පසු වෙනත් කිසිදු වෘත්තියක යෙදීමට අදහස් නොකරන බව එතුමා පොලිස් මූලස්ථානයේ පැවැති සමුගැනීමේ උත්සව අවස්ථාවේදී  පවත්වන ලද  අවසන් කතාවේදී  සඳහන් කර සිටියේය. මා දන්නා තරමට එතුමා විශ්‍රාම ලැබීමෙන් පසු සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර  සහ දකුණු  කොරියාවේ තානාපති තනතුර එතුමා වෙත පිරිනැමීමට රජය කටයුතු කළ නමුත් යම් ප්‍රතිපත්තියක එල්බ ගෙන සිටි එතුමා පොලිස්පති ධුරයෙන් සමු ගැනීමෙන් පසු රජයට සම්බන්ධ කිසිදු  තනතුරක් නොදරන බවට එළඹ සිටි ස්ථාවරය ඒ ආකාරයටම පවත්වාගෙන යමින්  ඔහු වෙත පිරිනැමුණු එම අවස්ථාවන් කාරුණිකව  ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළේය.

පොලිස්පතිත් තනතුර දරන සමයේ පටන් ඉතා සරල දිවි පෙවතකට හුරුව සිටි එතුමා පොලිස්පති ධුරයෙන් සමු ගැනීමෙන් පසුවද ඒ ප්‍රතිපත්ති ඒ ආකාරයටම පවත්වාගෙන යමින් අදත් ඉතා සරලව දිවි ගෙවන බව බොහෝ දෙනා  දන්නා කරුණකි.බොහෝ රාජ්‍ය නිලධාරීන් තමන්ගේ මහේශාක්‍ය බව පෙන්වීමට යොදා ගන්නා එක් සංකේතයක් වන්නේ ආරක්ෂක නිලධාරීන් නොහොත් “බොඩිගාඩ්ලා ය” විශ්‍රාමික පොලිස්පති වරයා හැටියට එතුමා වෙත ලබා දී ඇති ලබාදී ඇති අවම ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව පවා ප්‍රතික්ෂේප කිරීමට මේ අල්පේච්ඡ මිනිසා කටයුතු කළ බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි.

වසර හතරකුත් දින 290 ක් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික  සමාජවාදී ජනරජයේ පොලිස්පති වරයා ලෙස කටයුතු කර එතුමා සේවයෙන් විශ්‍රාම ලැබූ දින මා විසින් දිවයින පුවත්පතට රචිත “ඉලංගකෝන් යුගයේ නිමාව’ යන ශීර්ෂය යටතේ පළකල ලිපියේ අවසන් පද කීපය අදත් එලෙසම මෙම සටහනට එක් කරමින් මෙම සටහන අවසන් කරමි

“පොලිස් සේවය  නිර්දේශපාලනීකරණය තුළින් වඩාත් මහජන හිතකාමී පොලිස් සේවාවක් නිර්මාණය කිරීමත්, පොලිස් නිලධාරීන්ගේ පෞරුෂය වර්ධනය කර විසි එක්වන සියවසට ඔබින පොලිස් සේවාවක් ශ්‍රී ලංකාව තුළ  බිහිකිරීමටත් භාරදූර කාර්යයක් විශිෂ්ට ලෙස ඉටුකර ගෞරවනීය ලෙස  පොලිස්පති ධූරයට පත්ව ගෞරවණීය ලෙස පොලිස්පති ධුරය හොබවා ගෞරවණීය ලෙස සේවයෙන් ඉසිඹු ලබන පොලිස්පති තුමනි ඔබට චිරං ජයතු ”

DIG Priyantha Jayakody

ප්‍රියන්ත ජයකොඩි

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික )

14/10/2021

Social Sharing
නවතම විශේෂාංග