රඹුක්කන වින්දිතයින් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සැරසේ!

පසුගිය අප්‍රේල් 19 දා ඉන්ධන ඉල්ලා රඹුක්කන නගරයේ පැවති උද්ඝෝෂණයට සිදු කළ වෙඩි තැබීම උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට සිදු කළ වෙඩි තැබීමක් නොවන බව නිරාවරණය වෙමින් තිබේ. මෙම වෙඩි තැබීමෙන් 41 එක් හැවිරිදි චමින්ද ලක්ෂාන් යන අය මිය ගිත අතර තවත් 14 දෙනෙකු පොලිස් වෙඩි ප්‍රහාරයන්ට ලක් විය. මේ අතර තවත් පිරිසක් පොලීසියේ කෲර ප්‍රහාරයන්ට ලක්ව ඇති බව ද වාර්තා වේ.

මේ සම්බන්ධව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණ‌යේ දී පැවති නඩු විභාගයේ දී කෑගල්ල මහේස්ත්‍රාත්වරිය විසින් මෙම වෙඩි තැබීම මණුෂ්‍ය ඝාතණයක් වන බව ප්‍රකාශ කරමින්, වෙඩි තැබීමට අණ දුන් නිළධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.

ඒ අනුව ‌කෑගල්ල ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න ඇතුලු පොලිස් නිලධාරීන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

වාර්තාවන ආකරයට මෙම වෙඩි තැබීම අවස්ථා දෙකකදී සිදු ඇති අතර ඒහි පළමු වෙඩි තැබීම සවස 4 ට පමණ ආරම්භ වී ඊට සුලු වෙලාවකට පසුව අවසන් වී ඇත. ඉන් අනතුරුව නැවතත් දෙවැනි වෙඩි තැබීමක් සවස 6ට පමණ සිදුව තිබේ. මේ අතර පළමු වෙඩි තැබීම සිදු කිරීමෙන් පසුව තුවාලකරුවන් රෝහල් වෙත ගෙන යාමට උද්ඝෝෂකයින් උත්සාහ කළ අවස්ථාවේ දී පොලිසිය ඊට අවහිර කර ඇති බව ද වාර්තා වේ.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, මාධ්‍යවේදීන් හා නීතිඥයින්ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් රඹුක්කන වෙඩි තැබීම පිළිබදව සොයා බැලීම සදහා අවස්ථා දෙකක දී කෑගල්ල රෝහල, මරණකරුගේ නිවස වෙත හා වෙඩි වැදී සිටි වින්දිතයින්ගේ නිවෙස් වෙත ගොස් තොරතුරු ලබා ගන්නා ලදී. මේ වන විට ඉන් වින්දිතයින් 4 දෙනෙකු තම මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට ද කැමැත්ත පලකර තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ 14 හැවිරිදි පාසැල් සිසුවෙකු වන සහන් හසිත පැසැල නිමවී නිවසට පැමිණි පසුව නිවස අසල සිටින ඔහුගේ මිතුරෙකු වූ 18 හැවිරිදි ඊ.ජී සනිදු සමග මෙම උද්ඝෝෂණය නැරඹීම සදහා ඒම ස්ථානයට ගොස් තිබුනි. ඒ අවස්ථාවේ සහන්ගේ උකුල් ප්‍රදේශය හා දකුණු අතට වෙඩි ප්‍රහාර දෙකක් ඒල්ල වී ඇත. ඔහු සමග ගිය සනිදුට බඩ ප්‍රදේශයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රඹුක්න රෝහලෙන් කෑගල්ල රෝහලටත් ඉන් පසුව මහනුවර රෝහලේ දැඩි සත්කාර එකකයට මාරුකර තිබුනි. වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම නිසා ඔහුගේ ජීවිතය අනුනමයෙන් බේරී තිබේ. ඒ සදහා සනිදුට මහනුවර රෝහලේ මසකට වැඩි කාලයක් නේවාසික ප්‍රථිකාර ගැනීමට සිදුව තිබේ.

අපට හමුවූ වින්දිතයින් සියලුම දෙනාට වෙඩි වැදී තිබුනේ දණෙන් ඉහල සහ මාරන්තික ප්‍රදේශයන්ට වීම නිසා, මෙම වෙඩි තැබීම උද්ඝෝෂකයින් විසුරුවා හැරීම සදහා සිදු කළ ප්‍රහාරයක් ලෙස සැලකිය නොහැක.

Social Sharing
නවතම