පිල් මාරු ගැන අමතක කළ නොහැකි ඉතිහාසයක් අපිට තියෙනවා – ලයනල් බෝපගේ

දැවැන්ත දේශපාලන අර්බුදයකට රට මුහුණ දී තිබෙන අතර ඒ අර්බුදයෙන් ගොඩ ඒමට අලුතෙන් පත්වෙන මන්ත්‍රීවරුන්ට බරපතල වගකීමක් ඇති බව ආචාර්ය ලයනල් බෝපගේ මහතා කියයි.

ඔවුන්ගේ ප්‍රධාන කාර්ය භාර්යය විය යුත්තේ පොදු ප්‍රශ්න සාකච්ඡාවට ලක් කර ඒවා ආමන්ත්‍රණය කිරීමට ජාතික වැඩපිලිවෙලක් සකස් කීරීම බවත් ඔහු පෙන්වා දෙයි.

හැම අපේක්ෂකයෙක්ම පොරොන්දු වන්නේ දුෂණය වංචාව නැති කර යුක්ති සහගත සමාජයක් ඇති කිරීමට බවත් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු මෙවැනි පොරොන්දු දුන් නමුදු ඒවා ඉෂ්ඨ කර ඇත්තේ කී දෙනෙක්ද? යන්න ප්‍රශ්න කර සිටින ලයනල් බෝපගේ මහතා අසා සිටින්නේ ඉදිරියට එන්න සිටින කී දෙනෙකුගෙන් මේ පොරොන්දු රකීවී කියා බලාපොරොත්තු විය හැකිද යන්නය.

ඡන්ද ව්‍යාපාර වල යෙදෙන පක්ෂ, අපෙක්ෂකයෝ  ඒ වෙනුවෙන් මොන තරම් වියදම් කරනවාද එසේම ආණ්ඩුව මැතිවරණ වෙනුවෙන්, අගමැති, ජනාධිපති, මන්ත්‍රීවරුන් වෙනුවෙන්, ඔවුන්ගේ තීරුබදු රහිත වාහන වෙනුවෙන් වියදම් කරන්නේ පොදු ජනතාව ගෙවන බදු මුදලිනි.

අගෝස්තු 05 දා පැවැත්වෙන මහ මැතිවරණයේ වියදම පමණක් කෝටි 17 කට වඩා වැඩි බව පැවසෙන අතර මේ පක්ෂ, මේ අපේක්ෂකයෝ මේ මැතිවරණ කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන ගණනින් වියදම් කරන බවත් මේ ආකාරයෙන් වියදම් කරන සම්පත් නීත්‍යානුකූල ආකාරයෙන් උපයාගත් ඒවාද යන්න ගැටලු මතු වේ. එමෙන්ම ඔවුන් බලයට පත් වු පසුද මේ අකාරයෙන්ම ප්‍රතිලාභ ලබා ගැනීමට ඔවුන්ට අවැසි වන බවද ලයනල් බෝපගේ මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුව තුල ගරුත්වය තබාගෙන කටයුතු කල, මුදලට නොවිකුණු මන්ත්‍රීවරු සිටි අතර මන්ත්‍රීවරයෙක් වු පසු තමන් බලයට පත් කළ ජනතාවට පිටු පා පිල් මාරු කළ බොහෝ දෙනෙකු සිටි බවද ඔහු පවසයි.

සමහරු තමන්ට ඇති නඩු-හබ වලින් බේරෙන්න, තාන්න මාන්න ලබා ගන්න එසේ සිදු කළ බවත් පක්ෂ වලින් පනින අයට නොයෙක් තාන්න මාන්න වරදාන ලැබෙන ප්‍රසිද්ධ කරුණක් වන අතර ආණ්ඩුවයි විපක්ෂයයි අතර කරන මේ පිල් මාරුව ගැන අමතක කළ නොහැකි ඉතිහාසයක් අපට තිබෙනවා යැයි ද ඔහු කියයි.

මේ අන්දමට පිල් මාරු කරන පිරිස් අනාගතයේත් ඇති විය හැකි අතර ව්‍යවස්ථාවෙන් තහනම් කර අවශ්‍ය නීති රීති හරියට ක්‍රියාත්මක කරන තෙක් මෙම පිල් මාරුව නැවැත්වීම අපහුසු බවත් ඒ මහතා කියා සිටියි.

අගෝස්තු 05 දා ඔබ ගන්නා තීරණය අනුව රටේ ඉදිරි ගමන තීරණය වනු ඇති බවත් ඒ නිසා ඔබගේ වටිනා ඡන්දය නාස්ති නොකර ඉදිරිපත් වී සිටින ඡන්ද අපෙක්ෂකයින් දෙස බලා ඔවුන්ගේ ඡන්ද පරමාර්ථ හඳුනාගෙන තක්සේරුවක් ලබා ගන්නා ලෙස ලයනල් බෝපගේ මහතා පවසයි.

අපරාධ වලට සම්බන්ධ වලට, තමන්ගේ වාසියට පිල් මාරු කරන්න බලා සිටින අයට ඡන්දය දීමෙන් වැලකි සිටින ලෙසත් අවංක පුද්ගලයින්ට ඔබේ වටිනා ඡන්දය ලබා දී ඔබේ හඬ ඇසීමට සලස්වන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Social Sharing
නවතම