මහින්දට සහ තවත් 17කට විදෙස් ගමන් තහනම්

අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබූ මයිනාගෝගම සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටා තිබූ ගෝඨාගෝගමට මැර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශන සඳහා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු තවත් 17 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇත.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, කාංචන ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, සී. බී. රත්නායක, සම්පත් අතුකෝරල, රේණුක පෙරේරා, සනත් නිශාන්ත සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු තවත් එම පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසකට එරෙහිව මෙම විදෙස් ගමන් තහනම බලපැවැත්වෙනු ඇත.

ඊට අමතරව මෙම සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරුවන් හා මේ සිද්ධියෙන් තුවාල ලැබූ හත් දෙනෙකුගේද විදෙස් ගමන් තහනම් කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළේය. ඒ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක ජෙනරාල් අයේසා ජිනසේන මෙනවිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය. නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි විමර්ශන සඳහා මෙම පුද්ගලයන් මෙරට රැඳී සිටීම අත්‍යවශ්‍ය වන බවයි. ඒ අනුව ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ අතර ඒ පිළිබඳ ආගමන විගමන පාලකවරයාට වහා දැනුම් දීමට ද නියෝගයක් නිකුත් කළේය.

Social Sharing
නවතම