“අධ්‍යාපන කාර්ය සාධක බලකායන් ගෙන් පලක් නැහැ!” ගුරු සංගම් කියයි.

රටේ අධ්‍යපානය පිළිබඳව සොයා බැලීමට පත් කොට ඇති කාර්ය සාධක බලකා වලින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවට චෝදනා කරන දිවයිනේ ඉහළ පෙලේ ගුරු වෘත්තීය සමිතියක් ජාතික අධ්‍යාපන කොමිසම තිබියදී තවත් කාර්ය සාධක බලකායන් පත් කිරීමේ අරුත කුමක් දැයි  ප්‍රශ්න කර සිටී.

අධ්‍යාපන ක්ෂේත‍්‍රය බරපතල ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති මොහොතක රජය විසින් කළ යුතු වන්නේ මැතිවරණය අභිමුව මෙවැනි කාර්ය සාධක බලකායන් ඔස්සේ මැතිවරණ ප‍්‍රචාරක මෙහෙයුම් සිදු කිරීම නොව ජාතික අධ්‍යාපන කොමිසම බලාත්මක කර එමගින් ඉදිරිපත් කළ යෝජනා සංවර්ධනාත්මකව පෙරට ගෙන ක්‍රියාත්මක  කිරීමේ වැඩපිළිවෙලක් සැකසීම බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

“2020.01.14 දින අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ද නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාව  නැංවීමට යයි සඳහන් කරමින් ආචාර්ය එම්. උපාලි සේදර මහතාගේ ප‍්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් පත් කරන ලද අතර, එහි සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය පී.එන් මීගහවත්ත, මහාචාර්ය සුදත්ත ලියනගේ, මහාචාර්ය එම්.ඩී. ළමාහේවා, මහාචාර්ය ඩබ්.ඩී. කුලරත්න, හිටපු අධ්‍යාපන අතිරේක ලේකම් එස්.යූ. විජේරත්න, මහාචාර්ය රත්නායක එම්. මුදියන්සේ, ආචාර්ය හර්ෂ අලස්, ආචාර්ය මධුරා වේහැල්ල, මහාචාර්ය නාරද වර්ණසූරිය, ආචාර්ය ටී.ඒ. පියසිරි මහතා ඇතුළු නිලධාරීන් 12 ක් පත් කළහ. අමාත්‍යාවරයා පත් කළ එම කාර්ය සාධක බලකාය විසින් කිසිදු පාර්ශවයක අදහස් විමසීමකින් තොරව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට අදාළ යෝජනා මේ වන විට රාජ්‍ය මාධ්‍ය මගින් ප‍්‍රචාරය කරමින් සිටින්නේ  පාර්ලිමේන්තු මැතිවරණය කැඳවා ඇති පසුබිමකය,” යනුවෙන්  ලංකා ගුරු සංගමයේ   ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ගේ අත්සනින් යුතුව ජුලි  20 සඳුදා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත්  සඳහන් ව තිබේ.

සාමාජිකයන් 26 කින් සමන්විතව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ශ්‍රී  ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධක බලකාය පත් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ප‍්‍රාථමික, ද්විතීයික හා තෘතියික අධ්‍යාපන ක්ෂේත‍්‍රයන් කාලීන අවශ්‍යතාවයන්ට උචිතවන සේ නවීකරණය කිරීමේ අවශ්‍යතාවය හා උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්වය හමුවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය කිසිදු අයුරකින් පසුබෑමකට ලක් නොවී අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමේ ක‍්‍රමවේදයක් යොදා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.

එහෙත් අධ්‍යාපන ක්ෂ්ත‍්‍රය සම්බන්ධයෙන් කිසිදු සාධනීය යෝජනාවක් ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති ජනපති කාර්ය සාධක බලකාය විසින් සිදු කර ඇත්තේ විවිධ සංශෝධන සිදු කිරීම පමණක් බව ලංකා ගුරු සංගමය  සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

“මෙම ජනාධිපති කාර්ය සාධක බලකායට වරින් වර විවිධ සංශෝධන සිදු කළ ද එම කාර්ය සාධක බලකාය මගින් මේ දක්වා අධ්‍යාපන ක්ෂ්ත‍්‍රය සම්බන්ධයෙන් කිසිදු සාධනීය යෝජනාවක් සිදු කර නොමැත. එසේම කොවිඩ් 19 වසංගත තත්වය තුළ පාසල් දරුවන් පවා කොවිඩ් 19 ආසාදිතයන් බවට පත්වූයේ මෙම කාර්ය සාධක බලකාය ඒ සම්බන්ධයෙන් ද කිසිවක් නොකිරීමේ පසුබිම තුළය.”

ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සම්බන්ධව  මින් පෙර ද කරන ලද ප්‍රශ්න කිරීම් ගැන සිහිපත් කර දෙන ලංකා ගුරු සංගමයේ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ව ඇත්තේ “දිවයිනේ සියලූ පාසල් නියෝජනය වන පරිදි විදුහල්පතිවරු පත් නොකර ප‍්‍රධාන පෙළේ අති ජනප්‍රිය  පාසල්වල විදුහල්පතිවරු සහ පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරු පමණක් මෙම කාර්ය සාධක බලකායට පත් කිරීමෙන් කිසිදු ප‍්‍රතිඵලයක් නොවූ බව” මේ වන විට පැහැදිලි වී ඇති බවයි.

ශ්‍රී  ලංකාවේ අධ්‍යාපන ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත ආයතනය වන ජාතික අධ්‍යාපන කොමිසම මගින් සියලූ පාර්ශවයන් සමග සාකච්ඡාවකින් පසුව 2016 වසරේ ශ්‍රී  ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳව ජාතික ප‍්‍රතිපත්තියක් සඳහා යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇතිමුත් මේ දක්වා එම ප‍්‍රතිපත්ති යෝජනා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ලෙන නොමැති බවත් ගුරු සංගම් නායක  ජෝසප් ස්ටාලින් පෙන්වා දෙයි.

Social Sharing
නවතම