වෘත්තිකයින්ගේ ප්‍රඥප්තියක් අරගල භූමියෙන්.

රටේ අනාගත පුරවැසියන්ට යහපත්, සුරක්ෂිත දේශයක් ගොඩනැගීම සඳහා, ශ්‍රී ලාංකික වෘත්තිකයන් විසින් පොරොන්දු වන බවට ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිසක් සකස් කළ ප්‍රඥප්තියක් ඊයේ (17) දින ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අරගල භූමියේදී එළි දක්වන ලදී.

ශ්‍රී ලංකාවේ සහ එහි වෙසෙන ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා සඳහා වෘත්තිකයන් සතුව සුවිශේෂී වූ වගකීමක් ඇති බව වටහා ගනිමින්, මේ වගකීම පැහැර නොහැර ඉටුකිරීමට ඇති බාධකයන් ඉවත් කරගැනීමට මේ තීන්දුව ගත් බව ඔවුහු එහිදී කියා සිටියහ.

මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, ඉංජිනේරු සුමේධ රත්නායක, ඉංජිනේරු සුරත් සෙනෙවිරත්න ඇතුළු වෘත්තිකයින් පිරිසක් සහභාගි වූහ.

මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා;

“වෘත්තිකයන් හැටියට අපි ලංකාවේ සංවර්ධනයට සහ ජනතාවට සේවය කරන්න විවිධාකාර කටයුතු කරනවා. මෙතන ඉන්නවා වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් සහ වෙනත් වෘත්තිකයන් නියෝජනය කරන පිරිස්. අපි ආවේ අනාගතයේදී මේ රට මොන දිශාවට ගමන් කළ යුතුද කියන එක ගැන වෘත්තිකයන් හැටියට අපි දරන අදහස දැනුම් දෙන්න. අපි විශ්වාස කරන්නේ ඉදිරියේදී ලංකාවේ මේ වැටිලා තියෙන තැනින් ගොඩ අරගෙන ඉදිරියට ගෙනියන්න නම් වෘත්තිකයන් ඉදිරියට පැමිණිය යුතුයි කියලා. මේ සඳහා අවශ්‍ය වන ප්‍රධානම දෙයක් තමයි වෘත්තිකයන්ගේ තීන්දු තීරණ ගැනීමේදී කටයුතු කිරීමේදී ස්වාධීනව ඒ අය දැනගන්න දන්න දැනුමේ හැටියට ඒවා පාවිච්චි කරලා වැඩ කිරීමේ අවස්ථාව ලංකාවේ තිබිය යුතුයි.

වෘත්තිකයන්ගේ මතය ඉදිරියේදී වෙන රජයන් හෝ දේශපාලනඥයන් හෝ දේශපාලන පක්ෂ හෝ පිළිගත යුතුයි කියන මතයේ තමයි ඉන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන කරුණු සාධක හරියට සාක්ෂාත් වෙන විදිහට අවශ්‍ය නීති අණපනත් ගෙන ඒම සඳහා අප වෘත්තිකයන් පිරිසක් හැටියට කටයුතු කරනවා”

මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ වෘත්තිකයන් ලෙස තම දායකත්වය රටට ලබාදීම සඳහා අවශ්‍ය දේශපාලනමය සහ සමාජමය වාතාවරණය සකස් විය යුතු බවය.

“දැනට පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ අපි දැක්කේ රටේ දේශපාලඥයින්, පාලකයින් වැඩ කරේ, රට දියුණු කිරීමට වඩා, ඔවුන්ගේ මඩි තර කර ගැනීමට සහ ඔවුන්ගේ පුද්ගලික වාසි සඳහා. ඒ තත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා, රටේ විවිධ අංශ සඳහා අවශ් ය වෘත්තීයවේදීන්ගේ දායකත්වය ලබාගෙන, ඔවුන්ගේ වෘත්තීයවේදී කාර්යයන් සඳහා දේශපාලනමය ඇඟිලි ගැසීම්වලින් තොරව ඔවුන්ට නිදහසේ නිවහල්ව වැඩ කරගෙන යාමේ ඉඩකඩ සලසා දිය යුතුයි යන මතය තමයි අපි සියලු දෙනාම සිටියේ. එහෙම කළොත් අපි බලාපොරොත්තු වෙනවා මේ අද තියෙන අරගලකාරී තත්ත්වයත් එක්ක ඇතිවන සමාජීය දේශපාලනයේ වෙනස්කම් මතින් අපිට ඉදිරියේ හොඳ ශ්‍රී ලංකාවක් බිහිකරගන්නට සාර්ථක ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට හැකිය කියලා”

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක අදහස් දක්වමින්

“නීතිය සියලු දෙනාට එක හා සමානව ක්‍රියාත්මක වන සුදුස්සාට සුදුසු තැන ලබා දෙන ඒ වගේම අවංකව, කාර්යක්ෂමව සහ වැදගත්, විනිවිද තාවයෙන් යුක්තව ක් රියා කරන සමාජයකට ක්‍රමවේදයකට අපි අනිවාර්යෙන්ම යොමු විය යුතුයි. මෙහිදී වෘත්තිකයන් වශයෙන් අප හට විශාල කාර්යභාරයක් පැවරී සිටිනවා. මං හිතන්නේ පළවෙනිම දේ තමයි වෘත්තිකයන් වශයෙන් අප පෙරට පැමිණිය යුත්තේ මේ රටට ආදරය කරන අවංක සහ පෞද්ගලිකව දේශපාලන අරමුණු වලින් තොරව. එය ඉතා වැදගත්. මොකද පසුගිය කාලයේ අපි දැක්කා ඒ වගේ අරමුණු වලින් යුක්තව වෘත්තිකයන් උපදෙස් දෙන්න ගියොත් එහෙම මොන වගේ හානිකර තත්වයන් ඇති විය යුතුද කියලා. මේ රටට ආදරය කරන අවංක වෘත්තිකයන් කිසිම පෞද්ගලික හෝ දේශපාලනික අරමුණකින් තොරව ජනතාවට යහපතක් කිරීමේ අරමුණින් පමණක් පෙරට පැමිණියා. දෙවනුව දැනට පවතින තත්ව වලට අදාළ ඒ තාක්ෂණික විසඳුම් නිවැරදිව හඳුනාගැනීම. ඒ සඳහා කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා හඳුනාගෙන ඒ අදාළ අංශවලට නිවැරදි උපදෙස් දීම. හැබැයි උපදෙස් දීමෙන් පමණක් ඇතිවෙන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක වීමේදී වෘත්තිකයන්ගේ දැඩිව බලපෑමක් එහෙම නැත්නම් දැඩි මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. දේශපාලඥයින්ට අනවශ්‍ය විදිහට බලයක් ලබා දෙන්න. එහෙම නැත්නම් අනවශ්‍ය වරප්‍රසාද ලබාදෙන තත්වය වෙනස් කරමින් වෘත්තිකයන්ට තමන්ගේ තාක්ෂණික තීන්දු තීරණ නිවැරදිව ගැනීමට විතරක් නෙමෙයි. ඒවා ක්‍රියාත්මක කිරීමට, ඒවා උපදෙස් දීමට සහ වැරදි ආකාරයේ දෙයක් සිද්ධ වෙනවා නම්, එය නිවැරදි කිරීමටත් හැකියාව ලැබිය යුතුයි. ”

2022.04.15

ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ ප්‍රඥප්තිය

පුර්විකාව

අපේ මවුබිම ඉතිහාසයේ කිසිදිනක නොවූ ආර්ථික අගාධයකට වැටී ඇත. අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන්හි හිඟයත්,අධික මිලත් නිසා රටෙහි ජනතාව ඉමහත් දුක් පීඩාවන්ට මුහුණදෙමින් සිටී. පවතින පාලනතන්ත්‍රයටත්,සමාජ-ආර්ථික-දේශපාලන සංස්කෘතියටත් එරෙහිව රටවැසියන් තම විරෝධය ප්‍රසිද්ධයේ පලකරයි. මෙම උද්ඝෝෂණයන්හි පෙර ගමන්කරුවන්වී ඇත්තේ තමන්ට සතුටින් සහ සාමයෙන් ජීවත්විය හැකි සුන්දර දේශයක් නොමැති බව වටහාගත් තරුණ තරුණියන්ය.

මෙරටෙහි පවතින වංක,දුෂිත,අනුවණකාරී දේශපාලන සංස්කෘතියත්, එය වටා බැඳුනු පාලනතන්ත්‍රයත් මෙම වියවුලට වගකිවයුතු බව අපේ විශ්වාශයයි. මෙම වියවුලට මේ පාලනතන්ත්‍රයහිම කොටසක් වන, වෘත්තිකයන් වන අපද, යම් පමණකින් වගකිවයුතු බව අපගේ හැඟීමයි. ඇතැම් දේශපාලඥයන් වංචනික,වැරදි,අවිද්‍යාත්මක,දුෂිත තීරණ ගන්නා විට ඒ බව දැන සිටි අපේ ඇතැමුන් එයට විරුද්ධව කිසිදු හඬක් නොනැඟීය. ඒ වංචනිකයන්ට නිසි මඟ, නිසි ලෙස පෙන්වා නොදුන්නේය. අපේ ඇතැමුන් දුෂිතයන් හා එක්ව දුෂණයේ නිරත විය. රටේ දු දරුවන්ගේ අනාගතය බොඳ කර කරලීම ගැන කිසිදු ආකාරයක වගකීමක් එය කෙරු දේශපාලඥයන් නොගන්නා නමුදු, වෘත්තිකයන් වන අපි ඒ ඛේදවාචකය වැළැක්වීමට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන පශ්චාත්තාප වෙමු. මින් ඉදිරියට එවන් වැරදි නොවීමට දැඩිසේ අධිෂ්ථාන කරගනිමින්, දැයෙහි දු දරුවන් හා මාපියවරුන් හමුවේ ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ ප්‍රඥප්තිය මෙසේ ඉදිරිපත් කරමු.

ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ ප්‍රඥප්තිය

රටෙහි සහ ජනතාවගේ අභිවෘධිය සඳහා වෘත්තිකයන් සතුව සුවිශේෂී වූ වගකීමක් ඇති බව වටහා ගනිමින්,
මේ වගකීම පැහැර නොහැර ඉටුකිරීමට අපට ඇති බාධකයන් ඉවත් කරගැනීම් වස්,
රටේ අනාගත පුරවැසියන්ට යහපත්, සුරක්ෂිත දේශයක් ගොඩනැගීම සඳහා,

ශ්‍රී ලාංකික වෘත්තිකයන් වන අපි මෙසේ පොරොන්දු වෙමු.

– අප වෘත්තීන් සමඟ සබැඳුනු සියලු තීරණ, නවීන දැනුම සහ නවීන ක්‍රමවේදයන් මත පමණක් පදනම්ව, විද්‍යාත්මක නොවන කරුණු දුරු කරමින් සිදු කරන්නෙමු.

– අප වෘත්තිකයන් ලෙස කටයුතු කිරීමේදී, සේවය සපයන පුද්ගලයන්ගේ ජාතිය, ආගම, කුලය, ස්ත්‍රී පුරුෂ බව, වත් පොහොසත්කම් නොසලකා සැමට එක හා සමාන සේවයක් සපයන්නෙමු.

– රටට සහ ජනතාවට හානිදායක ලෙස තීරණ ගනු ලබන දේශපාලඥයන්ගේ හා දේශපාලන පක්ෂවල බලපෑම් වලට විරුද්ධ වන්නෙමු.

– වෘත්තීමය තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී දේශපාලඥයන් හෝ වෙනත් අය විසින් ගනු ලබන හෝ ගැනීමට උත්සාහ කරනු ලබන අයථා, දුෂිත, විෂම, අවිද්‍යාත්මක තීරණ වලට විරුද්ධව එක්ව හෝ වෙන්වෙන්ව විරුද්ධ වීමටත්, එවන් උත්සාහයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත් කටයුතු කරන්නෙමු.

– ඉහත සඳහන් ආකාරයේ අයථා, දුෂිත, විෂම, අවිද්‍යාත්මක තීරණ පිළිබඳව මහජන අවධානය යොමුවීම නැති කිරීමේ අරමුණින්, වෘත්තිකයන්ට දැනට පනවා ඇති නීතිමය සම්බාධක ඉවත් කරගැනීමටත්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන සෑම අවස්ථාවකදීම එවන් වැරදි තීරණ පිළිබඳව ජනතාව දැනුවත් කොට, ඒවාට විරුද්ධව එක්ව හෝ වෙන්වෙන්ව කටයුතු කරන්නෙමු.

– ජනතාව විසින් චන්දයෙන් පත්කරනු ලැබ ඇති ජනතා නියෝජිතයන්ට අප අතින් ජනතාවට සේවයන් ඉටුකෙරෙන්නේ දැයි විමසා බැලීමට ඇති අයිතිය පිළිගන්නා අතර, එවන් විමසීම් කිරීමේ මුවාවෙන් ස්ථාපිත කොට ඇති ක්‍රමවේදයන් හා නීති රීති උල්ලංඝනය කරමින් පුද්ගලික හා දේශපාලන වුවමනාවන් ඉටුකරගැනීමට ඍජුවම විරුද්ධ වන්නෙමු.

– හැකි සෑම අවස්ථාවකදීම ගනු ලබන සියලු කෙටි කාලීන හා දිගුකාලීන තීරණ විද්‍යාත්මක ලෙස පිළියෙළ කර ඇති දිගු කාලීන ජාතික සැලසුම් වලට අනුකූලව සිදුකරණ අතර, දේශපාලඥයන්ගේ හෝ දේශපාලන පක්ෂවල උවමනාවන්ට අනුකුලව මෙවන් සැලසුම්වලට පටහැනිව තීරණ ගැනීමට විරුද්ධ වන්නෙමු. රටෙහි වැදගත් ක්ෂේත්‍රයන්හි එවන් සැලසුම් නැතිනම් ජාතික සැලසුම් සකස් කිරීමට කටයුතු කරන්නෙමු.

– අප විසින් සිදුකරනු ලබන සියලු වෘත්තිමය කටයුතු වංචාවෙන් හා දුෂණයෙන් තොරව සිදුකරන අතර එවන් වංචා හෝ දුෂණ සිදුකරන්නන් හෙළිදරව් කොට, දඬුවම් ලබා දීමට කටයුතු කරන්නෙමු.

– අපගේ පුද්ගලික අවශ්‍යතාවයන්ට වඩා රටෙහි සහ ජනතාවගේ අවශ්‍යතාවයන් මුල් තැනෙහි තබමින් ජනතාවට අවංක, කාර්යක්ෂම, මිත්‍රශීලි සේවාවක් ලබාදීමටත්, අප ගනු ලබන තීරණ පිළිබඳව වගකීමත්, වගවීමත් භාරගැනීමට කටයුතු කරන්නෙමු.

– රටට සහ ජනතාවට පාරදුශ්‍ය හා ගුණාත්මක සේවාවන් ලබා දීමට විවිධ ක්ෂේත්‍රවල පිහිටුවා ඇති සියලු ආකරයේ නියාමන ආයතන නිර්දේශපාලනීකරණය කරගැනීමටත්, ඒවායේ ක්‍රියාකාරීත්වයන්ට දේශපාලඥයන් හා දේශපාලන පක්ෂ ඍජුව මැදිහත්වීම වැළැක්වීමටත් කටයුතු කරමු.

– රජයේ පත්වීම්, උසස්වීම්, ස්ථාන මාරු, දඬුවම් පැමිණවීම් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සිදුකිරිමට අවශ්‍යවන නීති සම්පාදනයට රජයට බලකරන අතර පත්වීම්, උසස්වීම් හා දිරිගැන්වීම් ඉගෙනුම, කුසලතාවය හා පලපුරුද්ද මත පමණක් පදනම්ව සිදුකිරීමට බලකරන්නෙමු.

-රටේ සද්පාලනය, රාජ්‍යකරණයේ පාරදෘශ්‍යභාවය සහතික කිරීමට හා නීතියේ ආධිපත්‍යයය තහවුරු කීරීමට අදාල නව නිතී පැනවීමට හෝ ව්‍යාවස්ථාදායක ක්‍රියාමාර්ගයන්ට බලකිරීමට උපරිම දායකත්වයක් ලබා දෙන්නෙමු.

– මෙම වෘත්තිකයන්ගේ ප්‍රඥප්තියට සියලු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා වෘත්තිකයන්ගේ සංවිධාන එකඟ කරගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරලීමට බලකිරිමටත්, කටයුතු කරන්නෙමු.

 

Social Sharing
නවතම