අගමැති ගෝලයන් රටේ සංස්කෘතිය විනාශ කරද්දී, එල්ලාවල හිමියන් අද බවුන් වඩනවා! – ජාතික භික්ෂු පෙරමුණ

කොමිෂන් පත් කිරීම තුළින් කුරුණෑගල අපරාධය යට ගහන්න අගමැතිවරයා උත්සාහ ගනිමින් ඉන්නවා. අපි දන්නවා මේ රටේ පිහිටි වු කොමිෂන්  වලට වූයේ කුමක්ද කියා. ඒ නිසා කොමිෂන් පත් කරල නිකන් කාලය කාදමන්නේ නැතිව කුරුණෑගල නගරයේ පිහිටි රාජසභා  මණ්ඩපය විනාශ කළ නගරාධිපතිවරයාට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් තංගල්ලේ ඊයේ (19)  පැවති මාධ්‍ය හමුවෙදී අවධාරණය කළේය.

කුරුණෑගල නගරයේ  පිහිටි 13 වැනි සියවසට අයත් බවට සැළකෙන ‌ඓතිහාසික රාජසභා මණ්ඩපය කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයා විසින් කඩා දැමීම තුළින් පිළඹිබු වෙන්නේ රට තුළ ක්‍රියාත්මක වෙන දේශපාලන අන්තවාදය බව ද ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් එහිදී පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක් වූ උන්වහන්සේ මෙසේද  පැවසීය. කුරුණෑගල නගරාධිපතිවරයා ගේ මෙම ක්‍රියාව හුදකලා  සිදුවීමක් වශයෙන් අප සළකන්නේ නෑ. මෙම ක්‍රියාව පිටුබස ප්‍රබල හස්තයක් තිබෙන බවට අපට පැහැදිලි වෙනවා. දුෂ්ඨ වුවමනාවක් තිබෙන ප්‍රබලයන් පිරිසක් මෙම ගොඩ නැගිල්ල බිමට සමතලා කිරීම පිටුපස ඉන්නවා.

අගමැතිවරයා දැන් මේ රටේ සංස්කෘතික ඇමති. ඔහුගේ ගෝලයන් රටේ සංස්කෘතිය විනාශ කරනවා. අගමැති තුමා කොමිෂන් පත් කරනවා. කොමිෂන් වලින් මේ රටේ ජනතාවට වුනේ කුමක්ද කියා  ප්‍රකාශ කරන්න අවශ්‍ය නෑ. ප්‍රශ්න වලට උත්තර දෙනවා වෙනුවට කල් මැරීම සදහා මේ රටේ පාලකයන් කොමිෂන් පිහිටුවීම තුළින්  බලා පොරොත්තු වෙනවා.මේ රටේ කොමිෂන් සබා වල ඉතිහාසය ගත්තාම එය හොදට ඔප්පු කොට තිබෙනවා.

කඩා දමන ලද ගොඩනැගිල්ල ඓතිහාසික එකක් බවට පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා සනාත කොට තිබෙනවා. කුරුනෑගල නගරාධිපති එය කඩා දැමූ බවට මාධ්‍ය ඉදිරිපිට පිළිඅරගෙන තිබෙනවා. පැහැදිලි කරුණු තිබෙන විටකදී කොමිෂන් පත් කිරීම තුළින්  අගමැති මහින්ද රාජපක්ෂ මහතා බලා පොරොත්තු වෙන්නේ අපරාධ කරුවන්ට දඩුවම් දෙනවා වෙනුවට ප්‍රශ්නය යටපත් කිරීම සදහා කල් මැරීමයි.

අද දූෂිතම තැනක් බවට පොලීසිය පත්වී තිබෙනවා. මේ ගොඩනැගිල්ල  සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපර්තමේන්තුවෙන් පැමිණිලි කිහිපයක් පොලීසියට කර තිබෙනවා. එම පැමිණිල වලට සාධාරණයක් වුණේ නෑ. පොලීසිය නිහඩව සිට තිබෙනවා. පොලීසිය නිහඩ කරන්න පුළුවන් බලයක් තියෙන කෙනෙක් මේ අපරාධ පිටුපස ඉන්නවා. අද ශ්‍රී ලංකා පොලීසිය පීඩකයින් පෙළන ස්ථානයක් බවට පත්වී තිබෙන අයුරු අපිට මෑත ඉතිහාසය තුළ පෙන්වා  තිබෙනවා.

පසු ගිය කාලයේ මෙවැනි සිදු වීමක් වුනාම ජනමාධ්‍ය වල ඉස්සරහට පැමිණ බෙරිහන් දෙන ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ඉන්නවා. එම හිමි වරුන් අද නිහඩයි. තමන්  නියෝජනය කරන පාර්ශවයෙන් අපරාධයක් වුණාම නිහඬව ඉන්න එක කොයිතරම් සුදුසු දෙයක්ද කියල උන් වහන්සේලා කල්පනා කළ යුතුයි.

පුරා විද්‍යාව  සම්බන්ධයෙන් බොහෝ විට පෙරට එන එල්ලාවල මේධානන්ද හිමියන් වගේම බොහෝ විප්ලව කාරී හිමිවරුන් අද බවුන් වඩන තත්වයට පත් වෙලා.

ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය හදුගල රතනපාල හිමියන් පැවසුවේ කුරුනෑගල නගරාධිපති වරයා විසින් සිදු කරන ලද අපරාධය ඓතිහාසික අපරාධයක් බවයි. මෙම ගොඩනැගිලි තුළ තිබෙන්නේ අපේ මුතුන්  මිත්තන් ගේ ඩහදිය මහන්සියයි. රටක සංස්කෘතිය පවතින්නේ මේ මතයි. මෙම ගොඩනැගිල කඩා දැමීම තුළින්  අප අපේ මුතුන්  මිත්තන්ට අගෞරවයක් සිදු කොට තිබෙනවා. අපේ ජාතික උරුමයන් වෙනුවෙන් ජාතික භික්ෂු පෙරමුණ නිරතුරුව පෙනී සිටිනවා වගේම මෙම අපරාධ සම්බන්ධයෙන්ද ඊට විරෝධය දක්වන්න අප පෙරමුණ ගන්නවා.

කල් මරන්නේ නැතිව මෙම ඓතිහාසික ගොඩනැගිල්ල  පොලවට සමතලා කළ සියළු දෙනාම නීතිය හමුවට ගෙනවිත් ඔවුන්ට දඩුවම් ලබා දිය යුතුයි. මෙම ගොඩනැගිල්ල  සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිලි විභාග කිරීම සදහා බාධා කළ අය සොයා ඔවුන්ටද දඩුවම් දීම කළ යුතුයි.

මෙැවනි නිර්මාණ මුළු ජාතියටම අයත් වස්තූන්. මෙන්න අපේ උරුමය කියල අපට ලෝකයා ඉදිරියේ පෙන්වන්න තිබෙන මෙවැනි ඓතිහාසික ස්ථාන විනාශ කිරීම සුළු කොට තැකිය යුත්තක් නොවෙයි. මෙම අපරාධයට අපේ විරෝධය මෙන්ම පිළිකුළද දක්වනවා.

-චන්ද්‍රසේන ගමගේ –

Social Sharing
Uncategorized