පසුගිය මාර්තු 31 දා ලාංකේය පුරවැසියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජීවත්වන නිවස වැටලූ පසුව රට පූර්ණ අරාජික බවකට වේගයෙන් පල්ලම් බසිමින් තිබෙයි. මෙම තත්ත්වය වළක්වා ගනිමින් වර්තමාන ආර්ථික අර්බුදය විසඳා ගන්නේ කෙසේද?
පවත්නා මෙම ජනතා නැගිටීම සමනය කළ හැක්කේ කොළඹට හමුදාව සහ සන්නද්ධ රථ ගෙනවීමෙන් ද? එතනිනුත් නොනැවතී පොලීසිය සහ හමුදාව යොදාගනිමින් මර්දනය වගාදිගා කිරීම මතින් ද?
ඊයේ (3) මධ්‍යම රාත්‍රියේ සිට ෆේස්බුක් යූටියුබ් ආදී නෙක සමාජ ජාලා වෙබ් අවකාශයන් තහනම් කලාප බවට පත් කරමින් හෝ සමාජ ජාලා තුළ සක්‍රීය ක්රියාකාරිකයන් (අනුරුද්ධ බණ්ඩාර වැනි) අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීමෙන් හෝ මෙම ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේද?
මෙම ලියුම්කරුගේ අදහස නම් මෙම කිසිඳු ක්රියාමාර්ගයකින් වර්තමාන ප්‍රශ්නයට පිළිතුරු නොලැබෙන බවය.
ඉන්දියාවෙන් තෙල් ගෙන්වීම නිසා හෝ ඒ හරහා කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීම තුළින් හෝ දැන් මේ ප්රශ්නය විසඳන්නට පුලුවන් යැයි ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සිතන්නේ නම් එය තවත් මිරිඟුවක් පමණක් ය.
අද (3) උදේ 9ට සහ සවස 3ට දීපව්‍යාප්තව සංවිධානය කර තිබූ ජනතා උද්ඝෝෂනයන් වැළැක්වීම සඳහා ඇඳිරිනීතිය බලාත්මක කිරීම සහ ඊටත් පසුව ‘මුහුදු වෙරළට යන්න එපා’ ‘පොදු ස්ථානවලට යන්න එපා’ ලෙස නිස්චිතව ස්ථාන නම් කරමින් ගැසට් ගැහුවට හෝ ආඥා පැනවූවාට මෙම අර්බුදය සමනය වෙයි හෝ විසඳෙයි කියා වර්තමාන ජනාධිපතිවරයා සිතන්නේ නම් එයත් මෝඩකමක් මිස අන් යමක් නොවන බව ප්‍රකාශ කළ යුතුය.
එහෙම නම් විසඳුම කුමක් ද?
මට පෙනෙන ලෙස මෙම අවස්ථාවේ රට තුළ නිර්මානය වී තිබෙන අරාජික තත්ත්වයට යම් විසඳුමක් ලබාදිය හැක්කේ පාර්ලිමේන්තුවට පමණය.
ඒ සඳහා මුලින්ම ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය. ඇයි ඔහු ඉල්ලා අස්වෙන්නේ?
ජනාධිපතිවරයා ජීවත් වෙන නිවස පුරවැසියන් විසින් වටලා ඔබතුමා අසුනෙන් බැස යන්න යැයි උද්ඝෝෂණය කළ ඉතිහාසයක් මේ දක්වා ලංකාව තුළ අපිට අසන්නට නැත. එම සිදුවීමට මුහුන දුන් පළමු රාජ්‍ය පාලකයා ගෝඨාභය රාජපක්ෂ බව කිව යුතුය.
ජනතාව සතුව පැවති ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය කඩවී ඇති බව මෙම සිදුවීමෙන් පෙනෙන ප්‍රධානම දෙයයි. මෙම තත්ත්වය නිසා වර්තමාන ජනාධිපතිවරයාට සිය ධුරයේ රැඳී සිටීමට අවැසි legitimacy දැන් ඔහු සතුව නැත.
මෙවැනි මහජන විශ්වාසය කඩවූ අවස්ථාවලදී ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සදාචාර සම්පන්නය. පරමාදර්ශීය.
එවැනි දේවල් මීට ප්‍රථම ලෝකයේ බොහෝ රටවල සිදුවී ඇත.
වර්තමාන තත්ත්වය තුළ මැතිවරණයක් පවත්වන්නටත් බැරිය. එනිසා ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වුණ හොත් පාර්ලිමේන්තුවට රැස්වී පාර්ලිමේන්තුව තුළින් අන්තර්වාර පාලනයක් සඳහා ජනාධිපති කෙනෙක් තෝරා ගත හැකිය.
එම පුද්ගලයා වර්තමාන ආර්ථික අර්බුදය විසඳීම සඳහා සෑම අතින්ම හැකියාව සහ දක්ෂතාවය තිබෙන පුද්ගලයෙක් විය යුතුය.
මෙම තෝරාගැනීමෙන් පසුව සීමිත කැබිනට් මණ්ඩලයක් සමගින් සියළු පක්ෂ මන්ත්‍රීවරුන්ට එකතුවී අවුරුදු දෙකක කාලයක් තුළ මෙම අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා වැඩ කළ හැකිය.
වර්තමාන ජනාධිපතිවරයා රට ගැන සිතා තනතුරෙන් බැස යන්නේ නම් මෙම දේවල් කළ හැකි වෙනු ඇත.
එහෙත් ඔහු තම ධුරය හැරදා නොයන්නේ නම් එම තත්ත්වය තුළ උවත් වර්තමාන පාර්ලිමේන්තුවට මෙම අර්බුදය විසඳීම සඳහා වඩාත් ප්රජාතන්ත්රවාදී ක්‍රියාවන් ක්‍රියාවට නැඟිය හැකිය.
වහාම පාර්ලිමේන්තුව රැස් කර නව අග්‍රාමාත්‍යවරයෙක් සමග නව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම එහි ප්‍රථම රාජකාරියයි.
දෙවැන්න පාර්ලිමේන්තුව හරහා වර්තමාන ජනාධිපතිවරයා ඔහු දරණ ධුරයෙන් ඉවත් කිරීම යි.
ඉන්පසුව පෙර කී පරිදි කටයුතු කරමින් මෙම අර්බුදයෙන් වහාම රට ගළවාගෙන ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම සඳහා අවුරුදු දෙකක් වැනි කෙටි කාලසිමාවක් අන්තර්වාර පාලනයක් ක්‍රියාත්මක කර පසුව නියමිත පරිදි ජනාධිපතිවරණයකට යා හැකිය.
මට පෙනෙන ලෙස මෙම අර්බුදයෙන් ගැළවෙන්නට මඟ විවරවී තිබෙන්නේ පාර්ලිමේන්තුව හරහා පමණි.
ඒ සඳහා පක්ෂ විපක්ෂ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවේ එක පෙරමුණකට ගොනුවිය යුතුය.
සියලු දෙනා එකතුවුණ සීමිත කැබිනට්ටුවක් සහිත ආණ්ඩුවක් සාදාගැනීම, නව ජනාධිපතිවරයෙක් පත්කරගැනීම යනු අන්තර්ජාතිකවත් ලංකාව දැනට වඩා විශාල ලෙස පිළිගැනෙන තත්ත්වයක් උදාකර දිය හැකිය.
ඒ මගින් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා අන්තර්ජාතික සහාය වැඩි වශයෙන් ගත හැකි වෙනු ඇති.
කේ. සංජීව