පැතුම්ගේ පැතුම සහ අපේ පැතුම….!

රාජපක්ෂලා එලවිය යුතු බව දැන් රාජපක්ෂලාත් කියන්නේදැයි සිතෙන තරමට එය සුලභ සටන් පාඨයක් වී තිබේ. මෙතරම් නිශ්චිත සරල සහ සංක්ෂිප්ත අරමුණක් වටා මෙතරම් ජනකායක් එක මිටකට එකතු වුනු අවස්ථාවක් ලංකා ඉතිහාසයේ තවත් නැත.

රාජපක්ෂලා එලවිය යුතු බව පැහැදිලිය. එසේ එලවිය හැකි සාමකාමීම ක්‍රමය පාර්ලිමේන්තුවේ සරල බහුතරය අහිමි කිරීමෙන් බවද පැහැදිලිය. එසේ එලවීමෙන් පසුව අන්තර්වාර ආණ්ඩුවක් සාදා එහි කටයුතු මූල්‍ය මණ්ඩලයක් හා ව්‍යවස්ථා සභාවක් මගින් සිදු කිරීමට හැකි බවද පැහැදිලිය. මේ සියලු දේ සම්බන්ධයෙන් වෙනත් අදහස්ද තිබිය හැක.

කෙසේ වෙතත් මේ කලබල මධ්‍යයේ පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහම එලවිය යුතු යයි යමකු සිතන්නේ නම් එය තරමක් ව්‍යාකූලය. බහුජන මැතිවරණයකින් පත් වූ මහජන නියෝජිතයන් එසේ එලවිය හැකි ව්‍යවස්ථානුකූල ක්‍රමයක් තිබේද? නැත්නම් එසේ කල හැක්කේ කෙසේද? එවැන්නක් කල හැකි එකම ක්‍රමය ලෙස පෙනෙන්නේ සියලු මහජනයා මහමගට බැස මේ මහජන නියෝජිතයන් රටෙන් පන්නා දැමීමමය. නැතහොත් සිරභාරයට ගැනීමය.

රාජපක්ෂ විරෝධය දෙසිය විසිපහටම හැරවීමේ ප්‍රයත්නයක් ද ඇතැම් අය තුල තිබේ. එක් අතකින් මෙය ව්‍යවස්ථානුකූල ක්‍රමයක් නැති ප්‍රලාපයකි. තවත් අතකින් රටේ ජනතාවට ඉතා භයානක ක්‍රමවේදයක් යෝජනා කරන අරාජිකවාදයකි. තවත් අතකින් රාජපක්ෂලාට අවසන් මොහොතේ හෝ රට ඉදිරියේ නිදොස් වීමට සපයන කඩතුරාවකි.

මේ හඬ දෛනික පදනමින් නගන්නෙකි පැතුම් කර්නර්. වෛද්‍ය වරයකු වන ඔහු මේ වන විට ජීවත් වන්නේ එංගලන්තයේ ය. නිරන්තරයෙන් විඩියෝ සහ ලිපි එලි දක්වන ඔහු නොනවත්වා කියන්නේ සමස්ථ ක්‍රමයම වෙනස් විය යුතු බවත්, ඒ සඳහා දෙසිය විසි පහම එලවිය යුතු බවත්ය. දෙසිය විසි පහම එලවිය හැක්කේ ප්‍රචන්ඩ ජනතා නැගිටීමකින් මිස අන් කවර ක්‍රමයකින් ද? මොහු එංගලන්තයේ සිට ලාංකීය තරුණයන්ගෙන් ඉල්ලා සිටින්නේ එවැනි ලේ වන්දියක්ද?

පැතුම් කර්නර් යනු ඉතා මනරම් අසුරනයක බහාලන ලද ගවසුරු පිඩකි. ඉතා හොඳින් අඳින පලඳින, වර්ණවත් විඩියෝ සම්පාදනය කරන ඔහුගේ සමස්ථ කථනය තුල කිසිදු අර්ථයක් නැත.  සිස්ටම් චේන්ජ් සිස්ටම් චේන්ජ් යන්න මන්ත්‍රයක් මෙන් ජප කලද එයින් අදහස් වන්නේ කුමක්ද එය කල හැක්කේ කෙසේද යන්න පිළිබඳ කිසිදු අදහසක් ඔහුට නැත. පැතුම් කර්නර් ගේ ගොදුරු බිම වන්නේ ලංකාවේ මධ්‍යම පන්තියේ සිටින දේශපාලන සාක්ෂරතාවය බින්දුවක් වන බොලඳ ජන සමූහයාය. තම තමන්ගේ වෘත්තීන් සහ නිපුනත්වයන් තුල ඉහලට නැග සිටින මේ කණ්ඩායම තමන් විසින් සිදු කල යුතු දේශපාලනික සිතීම වෙනකෙකු ට පැවරීමට කැමතිය. මන්ද ඒ වෙහෙසකර වැඩක් බැවිනි. තමන් විසින්ම යමක් අවබෝධ කර ගැනීම වෙනුවට ඔවුන්ට රුචි වන්නේ ඒ දෙය හොඳින් දන්නවා යයි තමන් විශ්වාස කරන වෙනත් පාර්ශවයකට “අවබෝධයේ වගකීම” පැවරීමය. පැතුම් කර්නර් වැන්නන් ජනප්‍රිය වන්නේ මධ්‍යම පන්තියට අයත් මේ දේශපාලනික ලඳ බොළඳ තීරුව අතරය.

පාර දෙපස ගස් සිටුවීම, ඇල මාර්ග සහ කානු වල කුණු සුද්ද කිරීම, පන්සල් වල තීන්ත ගෑම, වැනි රොටරැක්ට් ක්ලබ් එකකින් කරන පන්නයේ වැඩ කිරීම දේශපාලනයට සුදුසුකමක් යයි සිතූ මොහු දැන් එංගලන්තයේ සිට පාර්ලිමේන්තුව ගෙදර යවන ලෙස උපදෙස් දෙයි. අඩුම තරමේ ඒ කරන ප්‍රයෝගික වැඩ පිළිවෙල කුමක්ද යන්න ඔහු පැහැදිලි කල යුතුය. නැත්නම් මෙය සැලකිය හැක්කේ වක්‍රාකාරයෙන් රට අරාජිකත්වය යොමු කරන, ඒ අතරතුරම රාජපක්ෂලාට සැඟවීමට අවසන් කඩතුරාවක් සකසන තක්_කඩි උත්සාහයක් ලෙසය. නිශ්චිතම මොහොතේ ලංකාවට ගොඩබැසීමට සැලසුම් කරන ඔහු ඇතැම් විට සිතා සිටින්නේ ඉරාන විප්ලවයේ අවසන් හෝරාවේ දී ප්‍රංශයේ සිට ඉරානයට ආ අධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනි මෙන් චරිතයක් රඟපෑමට විය යුතුය. මෙවැනි ප්‍රහසනයන්ට නම්  දෙකොනින් සිනා සීම ඇර කල හැකි වෙනකක් නැත.   මේ සියල්ල ඔහු කරන්නේ එංගලන්තයේ ආරක්ෂිතව සිටිමින් වීම පිලිකුල් සහගතය. සදාචාර විරෝධී ය.

පැතුම් කර්නර් වැනි හිස් චරිත උඩට එසවී පෙනීමම සැලකිය හැක්කේ ලංකාවේ අර්බුදයේ තරම ප්‍රකාශ කෙරෙන පිලිඹිබුවක් ලෙසය. මේ සාමූහික ජන අරගලය වහ වහාම සාමකාමී ප්‍රායෝගික විසඳුමක් දෙසට යොමු කල යුතුය. මොහු වැනි තක්_කඩීන්ට වැල් බයිලා කියමින් අරගලය කොල්ල කන්නට ඉඩ හැරියේ යුතු මොහොතක් නොවේ මෙය.

-දිනෙත් මල්ලිකාරච්චි-

Social Sharing
නවතම