පොලිස් වධහිංසනය තවමත් අවසන් නැත..!

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය පෙබරවාරි 27 වන දින පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී වධහිංසා කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇත.

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ සුරවීරගේ ඉන්ද්‍රජිත් ප්‍රියදර්ශන නැමැති විවාහක වයස අවුරුදු 33ක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු ඇඟලුම් කර්මාන්තයේ රැකියාවක නියුක්ත ව සිට ඉන් ඉවත්ව දැනට පෙදරේරුවකු ලෙස රැකියාවක නියුක්ත ව සිටින බව, මෙම සිද්ධිය ගම්පහ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත පැමිණිලි කළ ඔහුගේ බිරිඳ ප්‍රකාශ කර ඇත.

මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වන ඇය ප්‍රකාශ කරන අන්දමට පසුගිය පෙබරවාරි 27 වන දින තම සැමියා නිවසේ සිටින අවස්ථාවේ පස්වරු 6 ට පමණ එහි පැමිණි සිවිල් ඇඳුම් ඇඳ ගත් පුද්ගලයින් දෙදෙනෙක් තමන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් බව ප්‍රකාශ කොට ඉන්ද්‍රජිත් ගෙන් තමන්ට හෙරොයින් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ. නමුත් ඉන්ද්‍රජිත් තමන් සන්තකයේ මත්කුඩු නොමැති බවත්, ඒවාට සම්බන්ධ නොමැති බවත් ප්‍රකාශ කළ ද, පැමිණි නිලධාරීන් එය පිළි ගෙන නොමැත.

ඒ අනුව එම  නිලධාරියෙක් ගෙන් එක් අයෙකු මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට  දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති අතර ඒ අනුව මිනුවන්ගොඩ පොලිස් ස්ථානයෙන් නිලධාරීන් කණ්ඩායමක් තම නිවසට පැමිණ කිසිදු නෛතික සෝදිසි වරෙන්තුවක් නොමැතිව නිවස පරික්ෂා කොට තිබේ. පසුව මත් කුඩු ගැන විමසමින් ඉන්ද්‍රජිත් හට අමානුෂික ලෙස පහර දී වධහිංසනයට ලක් කළ පොලිස් නිලධාරීන් විසින් හෙරොයින් පිළිබඳ චෝදනා එල්ල කරමින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ  පොලිස් ස්ථානයට රැගෙන යාමෙන් අනතුරුව ද ඉන්ද්‍රජිත් පොලිස් නිලධාරීන්ගේ වද හිංසාවට ලක්ව තිබෙන බව ඉන්ද්‍රජිත් ගේ බිරිඳ වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී.

පසුව ඉන්ද්‍රජිත් ව ඉකුත් පෙබරවාරි 28 වන දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. පසුව මේ සිදුවීම් පිළිබඳව ගම්පහ දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට වාර්තා වීමත් සමග එම මධ්‍යස්ථානයේ මැදිහත්වීම යටතේ සිද්ධිය පිළිබඳව මූලික නීති ක්‍රියාමාර්ග ගනු ලැබූ අතර ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය ට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව සහ උසස් පොලිස් නිලධාරීන් වෙත පැමිණිලි යොමු කිරීමට පියවර ගෙන ඇත.

එසේම මෙම සිද්ධිය පිළිබඳව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අවධානය යොමු වී තිබෙන අතර ඒ අනුව ගත යුතු මූලික පියවරක් වශයෙන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින මීට අදාළ නඩුකරය සඳහා නීති ආධාර ලබා දීම සිදුවුණි. ඒ අනුව මාර්තු මස 9 වන දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී මෙම දී මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය නීති ආධාර මත නීතිඥ හිරෝෂාන් ලක්ෂාන් මහතා පෙනී සිටින ලදී .

එහිදී සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මිනුවන්ගොඩ පොලිස් ස්ථානය අදාළ නිළධාරීන් කණ්ඩායම විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සහ අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට රැගෙන යාමෙන්  අනතුරුව කුරිරු අමානුෂික වධ හිංසනයට ලක් කොට ඇති බවත් ඒ හේතුවෙන් මෙම සැකකරු මේ වන විට රෝගී තත්ත්වයෙන් බන්ධනාගාරය තුළ සිටින බවට සැකකරුගේ පාර්ශ්වයෙන් දැනගන්නට ලැබී ඇති බවයි. ඒ අනුව අදාළ සැකකරු බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කොට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසත්, එසේ ම මෙම සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කොට  වාර්තා කැඳවීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්තුමා මෙම සැකකරුව අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුගේ පරීක්ෂාව සඳහා යොමුකරන ලෙසට සහ මෙම සැකකරුව බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කොට ප්‍රතිකාර ලබාදීම සම්බන්ධයෙන් ද නියෝග නිකුත් කළ අතර ඒ අනුව මෙම නඩුවේ මූලික සාක්ෂි ගොනු කිරීම සඳහා නියෝග නිකුත් කරමින් මෙම නඩුව වර්ෂ 2022 මාර්තු 23 වන දින කැඳවීමට නියම කරන ලදී.

Social Sharing
නවතම