රුසියාවට සහ යුක්‍රේනයට ශ්‍රී ලංකා තේ අපනයනය නවතී

යුක්‍රේන රුසියා අර්බුද හමුවේ එම රටවලට තේ අපනයනය කිරීම සම්පූර්නයෙන්ම ඇණහිට ඇති බව ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ හිටපු සභාපති, සහ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ සභාපති ද වන ජයන්ත කරුණාරත්න ප්‍රකාශ කළේ, රුසියාවට සහ යුක්රේනයට තේ අපනයනය කිරීමෙන් මුදල් ලබාගැනීම සම්බන්ධව ගැටලු සහගත තත්ත්වයක් මතුවීමත්, අදාල නැව් සමාගම් තේ අපනයනය ප්‍රතික්ෂේප කිරීමත් නිසා මෙලෙස තේ අපනයන කටයුතු ඇණහිට ඇති බව යි.

එමෙන්ම රුසියාවේ බැංකු පද්ධතිය සමග ගණුදෙනු සිදු නොකරන ලෙස යුරෝපිය හා බටහිර රටවලට මූල්‍යමය මෙන්ම ආර්ථික සම්බාධක පැනවීම මෙම තත්වයට මුල් වී ඇත.

රුසියාව යනු ශ්‍රී ලංකා තේ මිල දී ගන්නා තෙවැනි විශාලතම ගැණුම්කරුවාය. 2021 වසරේ තේ කිලෝග්‍රෑම් මිලියන 27ක ප්‍රමාණයක් රුසියාවට අපනයනය කර ඇති අතර, යුක්රේනයට එම වසරේම තේ කිලෝග්‍රෑම් මිලියන හතරක ප්‍රමාණයක් අපනයනය කර ඇත.

මේ නිසා ලාංකික තේ අපනයනකරුවන් උග්‍ර මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතිබවත්, දැනට සුදානම් කර ඇති තේ තොග අපනයනය සඳහා නව ගැනුම්කරුවන් සොයා ගැනීමට සිදුව ඇති බවත් ජයන්ත කරුණාරත්න සඳහන් කරයි. එමෙන්ම මේ හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50කට ආසන්න විදේශ විනිමයක් රටට මේ වන විට අහිමිවී ගොස් ඇති බව ඔහු පවසයි.

2021 වසරේ ශ්‍රී ලංකාව තේ අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ඇති අතර එය පෙර වසර ට සාපේක්ෂව සියයට 6.7ක වැඩිවීමකි.

කෙසේවෙතත් මතුවී ඇති තත්ත්වය හමුවේ තේ මණ්ඩලය මේ වන විට එම ගැටළු වලට විසදුම් සොයමින් සිටින බව එහි සභාපති ජයම්පති මොල්ලිගොඩ ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම