යුක්‍රේනයේ දැන් මොකද වෙන්නේ?

හිට්ලර්ගේ නාසි හමුදාව ඔස්ට්‍රියාව ආක්‍රමණය කරද්දි ලෝකෙ බොහෝ රටවල් ගනන් ගත්තෙ නෑ.  තවත් අය චිත්‍රපටියක් නරඹනව වගේ බලාගෙන හිටියා. තවත් රටවල් හිට්ලර් වීරයෙක් විදිහට සලකමින් ප්‍රීති ඝෝශා කලා. අද වෙන්නෙත් ඒ දෙයමද කියල නිකමට හිතෙනවා.

අදට දවස් 16 කට කලින් තමයි රුසියාව පටන් ගත්තෙ තමන්ගෙ අසල්වැසියාවූ යුක්‍රේණය ආක්‍රමණය කරන්න. දවස් තුනකින් අවසන් වේ යැයි සිතූ මේ ආක්‍රමණය දවස් 16 ක් ගිහිල්ලත් තවම ඉවර වෙලා නෑ… මේ මොහොත වෙද්දිත් දරුණු සටන් ඇවිලෙනව යුක්‍රේණයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පුරාම.

Russian invasion of Ukraine

මේ සිතියම හොඳින් බැලුවොත් අපට වටහා ගන්න පුලුවන් රුසියානු ආක්‍රමනය සිද්ධ වෙන ආකාරය. රතු පාට ප්‍රදේශ තමයි දැනට රුසියානු හමුදාව යටතට පත්වූ කලාප. රතු කඩ ඉරි මගින් පෙන්වන්නෙ රුසියානු හමුදාවේ ඉදිරි ගමනත්   ඒ වගේම සටන් පවතින ප්‍රදේශත්. නැගෙනහිර කොටසේ තියන ලුහාන්ස්ක් (Luhansk)  ඩොනෙට්ස්ක් ( Donetsk).. ක්හෙර්සන් ( Kherson) කියන්නෙ රුසියානු භාෂාව කතා කරන යුක්‍රේන ජාතිකයින් සිටින කලාප නිසා ඒ ප්‍රදේශ රුසියානු හමුදාවට  යටත් වුනේ දැනට දවස් කීපයකට පෙර. මේ සිතියම බලද්දි රුසියානුවන්ගේ උපක්‍රම ඉතාම පැහැදිලිව හඳුන ගන්න පුළුවන්.

මරියපොල්.. ඔඩෙසා ( Mariyupul .. Odesa)  කියන්නෙ යුක්‍රේනයේ  ප්‍රධාන වරාය නගර දෙක. 2014 ක්‍රිමියාව අහිමි වුනාට පස්සෙ මේ නගර දෙක යුක්‍රේනයට ඉතාම වැදගත් නාවික ගමනා ගමනයට.  ඒ නිසයි රුසියානු ආක්‍රමණය කොයි තරම් බලවත් වුනත් තවමත් මේ නගර වල ඉතාම උග්‍ර සටන් පවතින්නෙ.

මේ වෙද්දි කළු මුහුදේ විශාල නාවික බලකායක් බලාගෙන ඉන්නව අවස්ථාව ආපු ගමන් යුක්‍රේන වරායන්ට ඇතුල් වෙන්න. යුක්‍රේනයේ  වගේම රුසියානු භාෂාව කතා කරන හැම කෙනෙක්ගේම උපන්බිම තමයි කියෙව්. ( Kyiv) ඒ එක්කම මුළු යුද්ධයම පාලනය වෙන්නෙ කියෙව් හරහා. ඒ නිසයි යුක්‍රේන අග නගරය පාලනයට ගන්න රුසියානු හමුදාව මේ තරම් උත්සාහ කරන්නෙ. දවස් දාසයක් ගිහිල්ලත් ඇයි රුසියානුවන්ට තවමත් යුක්‍රේනය යටත් කර ගන්න බැරිවුනේ. මේකට හේතු කීපයක් තියනව.

  1. අවුරුදු 69 ක් පුරා සෝවියට් සංගමයට අයිතිව සිටියත් තමන්ගෙ භාෂාව, සංස්කෘතිය, පුරුදු… මේ අය පරපුරෙන් පරපුරට අරගෙන ගියා. නිදහස ලැබීමත් එක්කම තමන්ට පුරුදු තමන්ගෙ ස්වාධීන අදහස් එක්ක මේ අය බොහෝම ජාති හිතෛශී ජන කොට්ඨාශයක් බවට පත් වෙනව. සිවිල් වැසියන් හමුදාව එක්ක එකතු වෙලා වැඩ කරන්නෙ මැරුනත් කමක් නෑ,  රුසියාවට යටත් වෙලා ජීවත් වෙලා වැඩක් නෑ කියන හැඟීමත් එක්ක.  ඒක වැදගත්  සාධකයක්.

 

  1. ජනාධිපති, හිටපු ජනාධිපති, ප්‍රසිද්ධ නළු නිලියන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, රට වෙනුවෙන් සටන් කිරීම හා නිතරම මිනිසුන් දිරිමත් කිරීම. ඒ අය කියන්නෙ යුද්ධයේදී මිය යාම රුසියාවට යටත් වීමට වඩා වටිනව කියලයි.

 

  1. යුක්‍රේණ හමුදාවට යුරෝපයේ රට වලින් යුධ ආධාර ලැබීම සහ ඉතාම කෙටි කලක් තුල මේ අය මේ නවීන ආයුධ වලින් උපරිම ප්‍රයෝජන ගැනීම.

 

  1. රුසියානුවන්ගේ පැරනි යුධ උපක්‍රම එක්ක ඉදිරියට ඇදෙන හමුදාවට යුක්‍රේනයට ලැබුනු නවීන අවි ආයුධ වලට මුහුන දීමේ අපහසුව. උදාහරණයක් විදිහට ජැවෙලින් ඇන්ටි ටෑන්ක් මිසයිල( Javelin Anti Tank Missile)   තුන්දාහකට වඩා යුක්‍රේනයට ලැබෙනව බ්‍රිතාන්‍ය රජයෙන්. මේ මිසයිල පාවිච්චි කරන්න ඉගෙන ගත් යුක්‍රේනුවන් රුසියානු හමුදාව වගේම යුධ විචාරකයන්වත් මවිතයට පත් කරනව. ඒ එක්ක්ම යුක්‍රේන හමුදාවන් අනුගමනය කරන ‍යුධ උපක්‍රම හා උපායන් ඉතාම උසස් මට්ටමක පවතිනව. (මේක මොස්කව් පාලනය බලාපොරොත්තු වූ දෙයක් නෙවේ).

 

  1. රුසියානු හමුදා භටයින් බොහෝ දෙනෙක් යුක්‍රේන ආක්‍රමණයට පක්ශ නොවීම මත ඒ අයගෙ මානසික මට්ටම පහත් තත්වයක තිබීම. සමහර රුසියානු සොල්දාදුවන් දැනගෙන ඉඳල නැහැ ඒ අය යන්නෙ යුක්‍රේනය ආක්‍රමනය කරන්න කියල. විශේෂයෙන්ම තරුණ භටයන්.

 

  1. කාලගුණ හා දේශගුණ සාධක රුසියානු හමුදාවට අවාසියක් වීම. මේ කාලයේ හිම හා වැස්සත් එක්ක නිර්මාණය වෙන මඩ වගුරු සහිත බිමේ රුසියානු ගමන අඩාල වෙලා තියනව. ඒ එක්කම යුක්‍රේන් හමුදාව විසින් ඩ්නයිපර් ( Dniper)  ගංගාවේ ජලය මුදා හැරල තැනින් තැන වගුරු බිම් නිර්මාණය කරල තියනවා.

 

  1. පාලම්, බෝක්කු, මාර්ග විනාශ කරල රුසියානු හමුදාව ප්‍රධාන නගර වලට පැමිනීමේ වේගය අඩාල කර තිබීම.

 

  1. සැඟවී පහර දෙන සිවිල් වැසියන්ගේ මානසික තත්වය ඉතා ඉහල මට්ටමක තිබීම.

 

ඒ අය කියන්නෙ රුසියානු හමුදාව අපේ රට ආක්‍රමනය කලේ පුටින් මහත්තයා නියෝග කරපු නිසා. නමුත් අපි සටන් කරන්නෙ රට බේරගන්න ඕනෙ නිසා.

මේ කරුණු එකක් වත් ආඩම්බර වීමට හෝ සතුටු වීමට කරුණු නෙවේ.  නමුත් අපි උත්සාහ කරන්නෙ ඇයි මේ යුද්ධය මේ තරම් දිග් ගැස්සෙන්නෙ කියල තේරුම් ගන්න.

ගුවනින් ඇවිල්ල බෝම්බ වර්ෂාවක් හෙලූ පමනින්.. ශෙල් .. මල්ටි බැරල් හා මිසයිල නොකඩවා එල්ල කිරීමෙන් යුද්ධයක් දිනන්න බැරි බවට මේ ගැටුම් හොඳම උදාහරණයක්.

ඒ එක්කම ආර්ථික සම්බාධක වලින් කඩා වැටෙන රුසියානු ආර්ථිකය මේ යුද්ධයට සෑහෙන බලපෑමක් එල්ල කරනව.

රුසියානු භටයන් වෙනුවට සිරියානු.. ලිබියානු.. ඉරාක හා සූඩාන කුලී හමුදාවක සහය ලබාගන්න රුසියානු නායකයා තීරණය කරන්නෙ මේ යුද්ධය දිග් ගැස්සෙන බව හොඳින්ම වටහා ගන්න නිසා විය යුතුයි.

චෙච්නියා ගරිල්ලන්.. වැග්නර් සොල්දාදුවන් රුසියානු හමුදාවට එකතු වෙද්දි චෙච්නියන් හා මුස්ලිම් අන්තගාමීන්ට විරුද්ධව සටන් කරන ඇසෝව් ( Azov) බලකාය යුක්‍රේන හමුදාවට පක්ශව සටන් කරනව පැහැදිලිවම දකින්න පුළුවන්.

මෙන්න මේ කණ්ඩායම තමයි නියෝ නාසි විදිහට පුටින් ජනාධිපති වරයාත් අල් ජසීරා ප්‍රවෘත්ති සේවය විසිනුත් හඳුන් වන්නෙ.

ඇයි ලෝක නායකයන් වගේම රුසියානු නායකයාත් තැති ගත් ආකාරයකින් අදහස් ප්‍රකාශ කරන්නෙ.?

හේතුව යුක්‍රේනය  යටත් කරගත්තට යුද්ධය ඉවර වෙන්නෙ නෑ.

මුළු යුක්‍රේණයම තීරණය කරල ඉවරයි නිදහස ලැබෙන තෙක් සටන් කරන්න.

ඒකෙන් අදහස් වෙන්නෙ තුන්වන ලෝක යුද්ධය ආරම්භ නොවුනහොත් යුක්‍රේනය දශක ගණනාවක් පුරා ලේ වැගිරෙන බිමක් වීම නෙවෙයිද.?

මේ අතරෙ පෝලන්ත රජය තීරණය කරනව යුක්‍රේනයට ප්‍රහාරක මිග් යානා ලබා දෙන්න. පෝලන්තයට ඉන්නෙත් තරුණ ජනාධිපතිවරයෙක්. අන්ද්‍රසෙජ් දුදා මහත්තයාට වයස අවුරුදු 49යි. ( Andrzej Duda)

අද උදේ යුරෝ නිව්ස් සාකච්ඡාවකදි ඒ මහත්තයා කියනව

“යුක්‍රේණය කියන්නෙ අපේ සහෝදරයා .. අපි වගේම යුක්‍රේනයත් දරදඬු සෝවියට් පාලනයෙන් පීඩා වින්ද.  ඒ නිසයි අපි යුක්‍රේනයට උදව් කරන්නෙ.”

නිවේදිකාව අහනව..

“මහත්තයා මේ මිග් යානා සැපයීම එක්ක ඔබ සෘජුවම යුද්ධයට දායක වෙනව නේද?”

“මැඩම්… මේක මගෙ තීරණය නෙවේ .. මේක මුළු පෝලන්ත ජනතාවගේම තීරණය”.

“මමවත් මගේ ජනතාවවත් යුද්ධයට කැමති නෑ. නමුත් අපි ඊට වඩා අකමැතියි හිතක් පපුවක් නැති රුසියාවට යටත් වෙන්න.”

“අවුරුදු ගානක් අපි දුක් වින්ද.. අපි විඳපු දුක  අපේ දරුවන්ට නොදෙන්නයි අපිට ඕනෙ.”

ඔබ හිතනවද රුසියානුවන් මේ ආක්‍රමණයෙන් නතර වෙයි කියල.?

 නැහැ…

සමහර විට…. ඒ අය ඊළඟට අපට අත තියාවි .. ඊට පස්සෙ හංගේරියාවට.

මොස්කව් පාලනය ඔබට පහර දුන්නොත් ඔබ මොකද කරන්නෙ.?

“මැඩම් මම බලාපොරොත්තු වෙනව එහෙම නොවේවි කියල.

එහෙම වුනොත් ස්වාධීන රාජ්‍යයක් විදිහට අපිට ඒකට නිසි පිළිතුරු දෙන්න වෙනව.”

නේටෝ සංවිධානය ඔබව තනි කරොත්.?

“මැඩම්.. අපි එක සංවිධානයක්.. අපි එකට තීරණ ගන්නෙ.  නේටෝ අපිව තනි කරන එකක් නෑ කියල මම හිතනව. එහෙම වුනොත් මේ හැමදේකම අවසානය තමයි ඒක.”

මෙන්න මේ වගේ අදහස් ටිකක් තමයි ඒ සාකච්ඡාවේ සාරාංශය.

ලංකාවට වගේම ලෝකෙ බොහෝ රටවලට තේරෙන්නෙ නෑ මුළු ලෝකයම මුහුන දීල ඉන්න තත්ත්වය.

බලවත් රුසියානු හමුදාව දිනන්න ඉඩ තියනව… යුක්‍රේන ජාතිකයන් කොයි තරම් විශ්වාසයකින් සටන් කරත්. ගැටුම රුසියාව දිනුවත් ඒ අයට මේ යුද්ධය දිනන්න වෙන්නෙ නෑ. පුටින් ජනාධිපතිවරයාට සිද්ධ වෙනව මුළු ජීවිත කාලයම ගරිල්ලා සටන් වලට මුහුණ දෙන්න.

එක අතකින් බිඳ වැටෙන ආර්ථිකයත් එක්ක පුටින් පාලනයට පුළුවන් වෙයිද මේ යුද්ධය තව දුරටත් පවත්වාගෙන යන්න.

ඒ නිසාමදෝ සමහර විචාරකයන් කියන්නෙ මේ පුටින් පාලනයේ අවසානයේ ආරම්භයයි කියල.

යුක්‍රේන  ආක්‍රමනයෙන් රුසියානු ආක්‍රමණය නතර වෙයිද.. තුන්වන ලෝක යුද්ධයේ ආරම්භය සිද්ධ වෙයිද.. න්‍යශ්ඨික අවි ගැටුමකට ලෝකය මුහුණ පාන්න වෙයිද ප්‍රධාන ප්‍රශ්ණ තුන තමයි අපි ඉස්සරහා තියෙන්නෙ.

යුද්ධයට අකමැති අපි හැමෝගෙම ප්‍රාර්ථනය වෙන්න ඕනෙ මේ තේරුමක් නැති ගැටුම නවත්තන්න ලෝක නායකයන්ටත්.. පුටින් හා සෙලෙන්ස්කි යන ජනාධිපතිවරුන්ට නුවණ පහල වේවා යන්න නොවේද?

( මේ තොරතුරු හුදෙක් දැනට යුරෝපයේ පවතින සාමාන්‍ය තත්ත්වය මත ලියූවක් මිස මා යුධ විශේෂඥ්ඥයෙක් නොවන බවත්..   සෙලෙන්ස්කි ජනාධිපතිවරයා හරිද වැරදිද.. ඔහු බටහිර බලල් අතක්ද…. බටහිර ගැති සංගමය හා ඇමරිකාව මීට වගකිව යුතුද.. පුටින් ජනාධිපතිවරයා සමාජවාදී වීරයෙක්ද… බටහිර අවි වෙළෙන්දෝ ජයග්‍රාහකයන්ද..මානව හිමිකම්  හමුවේ රුසියාව ඡන්දය දීම තුල රුසියාව ලංකාවේ යාළුවෙක්ද… සිවිල් වැසියන් නොසිටින්න මේ යුද්ධය දවස් දෙකකින් ඉවර වීමට තිබුනා නේද…  බල ලෝහී නේටෝව පාඩමක් ඉගෙන ගනී  නේද… වැනි ප්‍රශ්ණ හා ගැටලු මීට පෙර අපි සාකච්ඡා කරා.  ඒ නිසා එවැනි ප්‍රශ්ණ වලට පිළිතුරු දීම හෝ සාකච්ඡා කිරීමෙන් වැලකුනොත් හොඳයි කියල මට හිතෙනව)

මෙම ලිපිය 2022 මාර්තු 13 දිනයේ දී Malcolm sang සිය ෆේක්බුක් පිටුවේ ලියූවකි.

Social Sharing
නවතම විදෙස්