විමල්ට දැන් තියෙන්නේ මෛත්‍රී සුළඟ හදන්න..!

ලංකාව පිළිබඳව, මේ ගතවෙන කාලය පිළිබඳව මොකද හිතෙන්නේ? තෙල් පෝලින්, ගෑස් පෝලින්, විදුලිය නෑ, බස් නෑ, හාල් ගිනි ගණන්, ඒත් ආණ්ඩුව මොකද කියන්නේ? ආණ්ඩුව කියන්නේ ‘පැනික්’ වෙන්නේ නැතුව ඉන්න කියලා. ඒකෙන් පේනවා ආණ්ඩුව ආස්චර්‍යයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. ඇත්තටම මෙතනදී ආණ්ඩුව කියලා කියන්නේ රාජපක්ෂ පවුල් ගහා. මේ බලා සිටීම අස්සේ වෙන දේවල් මොනවාද? ඩොලර් කළු කඩය මේ අස්සේ නැඟලා යනවා. නැවක් ආවාම පිටකොටුවෙන් ඩොලර් හොයලා තමයි ගෙවන්නේ.(මුදල් ඇමති තුමා කියන්නේ එහෙමනේ). ඒ අස්සේ දැන් පෙට්‍රල් ෂෙඩ්ස් වල ‘වැඩකරන අපේ විරුවා’ සිංදුව දාගෙන මිනිස්සු නටනවා. මාර්තු 5න් පස්සේ, ජනාධිපති නොකපා කරන්ට් එක දෙන්න කිව්වා කියලා ජොන්ස්ටන් අමාත්‍යවරයා ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉස්සරහට ඇවිත් කියනවා. ඒ අස්සේ කියනවා තෙල් ගෙන්වන්න අවශ්‍ය සියලු ඩොලර් ජනාධිපතිතුමා හොයලා දුන්නා කියලා. මේවා කොහොමද මෙහෙම වෙන්නේ කියලා හිතන්න එපා. ඒත් අද දේවල් සිද්ධවෙන්නේ මෙහෙමයි..! ඒ අස්සේ රාජ්‍ය බැංකු කියනවා ආණ්ඩුව මෙහෙම ඩොලර් ඉල්ලුවාට දෙන්නේ කොහොමද කියලා. ඒ අස්සේ මහ බැංකු අධිපති කියනවා ඩොලර් අහසින් පාත් වෙන්නේ නෑ ඒකට අවශ්‍ය දේවල් කරන්න ඕනෑ ඒත් තවමත් ඒ දේවල් වෙන්නෙ නෑ කියලා. ඔන්න ඔය වගේ ‘ගෝඩෝ එනකම්’ බලාගෙන ඉන්න මූඩ් එකක් තමයි මේ සතිය පුරාම ආණ්ඩුවට වගේම ජනතාවටත් තිබුණේ.

ඒ අස්සේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සීරිසේනගේ ප්‍රධානත්වයෙන් පක්ෂ 11ක නියෝජිතයෝ පහුගිය 2 දා ජයවර්ධනපුරයේදී විශේෂ රැලියක් සංවිධානය කරලා තිබුණා. ඒකේ තේමාව උනේ ‘රට හරි මගට’ කියන එක. ඒකම ‘රට මහ මගට’ කියලා වෙනස් කළානම් ලස්සනයි කියලා අපි ෆේස්බුක් එක හරහා යෝජනා කළා. ඒ මොකද මේ වේදිකාවේ හිටපු විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, මෛත්‍රීපාල සිරිසේන වගේ අය තමයි නැවත සැරයක් මැදමුලනේ වළව් ඉලව් පාලනයකට පාර හැදුවේ. 2015 ජනේලයේ එල්ලුන මහින්ද රාජපක්ෂ ‘මහින්ද සුළඟ’ කියලා ආයෙත් වැඩැම්මුවේ විමල්ලා. ඒක අපි කවුරුත් දන්නවා. ඒ අනුව මේ සෙට් එක ‘රට මහ මගට’ කියලා බෝඩ් එකක් දාගෙන මේ වැඩේ කළානම්, ඒක මරු. මේකේ ගිය කතා ටික දිහා බැලුවාම අපිටනම් හිතුනේ කැබිනට් එකේ දී බනින්න ගියොත් ගුටි කන්න වෙන නිසා එළියේ ලක්ෂ ගානක් වියදම් කරලා පොඩි වේදිකාවක් හදාගෙන කස්ටිය එක්ක එකතුවෙලා බැසිල් රාජපක්ෂට අම්මා මුත්තා යන්න බැන්නා කියන දේ. විමල් වීරවංශ මේ විදිහට බැසිල් ‍රාජපක්ෂට බනිනකොට අපිට මතක් වෙන්නෙම ලී ක්වාන් යූ සහ මහතීර් මොහොමඩ් ගේන්න කතා කරපු කතා කිරිල්ල. විමල් ඒ කාලේ දැනගෙන ඉඳලා නෑ ලී ක්වාන් යූට සහ මහතීර් මොහොමඩ් ට බැසිල් ‍රාජපක්ෂ කියලා මල්ලි කෙනෙක් ඉඳලා තියෙනවා කියලා.

මේ රැලියෙන් පස්සේ අද වෙනකොට විමල් ගම්මන්පිළ යුවලට මොකද වෙලා තියෙන්නේ. ඔවුන් රාජපක්ෂ වළව්වෙන් එළියට වීසිකරලා. මේකෙන් පැහැදිලි වෙනවා රාජපක්ෂවරුන් විවේචනය කිරීම ලේසි නෑ කියලා. බැසිල් වගේ කෙනෙක් විවේචනය කරනවා කියන්නේ සමහර වෙලාවට ජීවිතය සහ මරණය අතර ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. කැබිනට් එකෙන් එළියට දාපු විමල් ගමන්පිළ යුවලට පුලුවන් දැන් තමන්ගේම සුළඟක් පටන් ගන්න. එහෙමත් නැත්තන් ‘මෛත්‍රී සුළඟ’ වගේ සුළං මෝළක් පටන් ගන්නත් පුලුවන්.

ආණ්ඩුව (=රාජපක්ෂවරු) විමල්ට ගහන්න අද ඉස්සරහට දාලා තියෙන්නේ තිස්ස කුට්ටි. තිස්ස කුට්ටි කියනවා විමල් කියන්නේ ජාතික වීරයෙක් නෙවෙයි කියලා. ඒ වගේම ඔය ජනාධිපති සිහින හරියන්නේ නෑ කියලත් කියනවා. කොහොම වුණත් මිනිස්සු හීන දකින්න ඕනෑ. ලෙනින් කීවෙත් එහෙම. විමල්ට කෝච්චියේ කොළඹ ඇවිත් පත්තර මේසේ උඩ නිදියලා මහා මන්දිර හදාගෙන ධන කුවේරයෙක් වෙන්න පුලුවන්නම් සමහර වෙලාවට ටිකක් ට්‍රයි කළොත් ජනාධිපති වෙන්නත් බැරි වෙන එකක් නෑ. මොකද මේක ලංකාවනේ..!. සල සල ගාන හෙලවෙන යකඩ කටවල් වලට මේකේ ගොඩක් දේවල් කරන්න පුලුවන්. අනික් පැත්තෙන් ‘මෛත්‍රී සුළඟ’ කියලා එකක් පටන් ගත්තා නම් අගමැති කමවත් ගන්න තිබුණා. කොහොම වුණත් පයින් ගහලා වළව්වෙන් එළියට වීසි කිරීම, විමල්ට සාධනීයව ගන්න පුලුවන්. මම හිතන්නේ විමල් ඒක හොඳ අතට ගනීවි කියලා.

කේ. සංජීව

Social Sharing
නවතම