මේ අරුම පුදුම චෝදනාව දෙස සිනහ නොවී බලන්න…!

ජනාධිපතිතුමා විසින් පත් කර තිබෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ අද දිනයේ (28) පෙනී සිටින ලෙස මා වෙත දන්වා ඇත.

මට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාව වන්නේ පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේදී ජාතික රූපවාහිනී සංස්ථාව ඉදිරියේ උද්ඝෝෂණයක් කරමින් එහි සභාපතිවරයාව සිටි විමලසේන රූබසිංහ මහතා බියපත් කර රූපවාහිනීයේ  කටයුතු අඩපණ කිරීමට ක්‍රියා කළ බවය.

2015 ජනාධිපතිවරණ සමයේදී ජාතික රූපවාහිනිය ඉදිරිපිට පැවැත් වූ උද්ඝෝෂණයකට මම සහභාගී වුයෙමි. කරු ජයසූරිය මහතා ඇතුලු දේශපාලන නායකයන් සහ සිවිල් ක්‍රියාකාරිකයන් රැසක් එක්ව පැවැත් වූ එම උද්ඝෝෂණයේ අරමුණ වූයේ එම මැතිවරණයේදී මැතිවරණ නීති කඩ කරමින් ජාතික රූපවාහිනිය ගෙන ගිය පක්ෂග්‍රාහී ක්‍රියා කලාපයට විරෝධය දැක්වීමය.

අතිශයින්ම සාමකාමී වු එම උද්ඝෝෂණය පැය භාගයක් පමණ ජාතික රූපවාහිනිය ඉදිරිපිට පැවැති අතර එයින් රූපවාහිනියේ කටයුතු අඩපණ වූ බවක් එකල නම් වාර්තා වූයේ නැත.  මේ ආයතනය පාරේ පවතින උද්ඝෝෂණ නිසා කටයුතු අඩපණ වන තරම් දුර්වල ආයතනයක් නොවේ. ජාතික රූපවාහිනියේ වාර්තා කැමරාකරුවෝද මේ උද්ඝෝෂණ වීඩියෝ කළහ.  එතැනට පැමිණි අනෙක් මාධ්‍ය නාලිකාද එසේ කළහ. මේ උද්ඝෝෂණය නිසා සභාපතිවරයා බියපත් වූ බව මම නොදනිමි. සාමාන්‍යයෙන් රූපවාහිනියට පත් කරන්නේ නිතරම කෙරෙන මෙවැනි උද්ඝෝෂණ වලට බිය නැති සභාපතිවරුන්ය. අනෙක මහපාරේ උද්ඝෝෂණය කිරීම තහනම්ව තිබුනේද නැත. එය අපගේ අයිතියකි. පාරේ උද්ඝෝෂණ වලදී මෙන් නොව  ජාතික රූපවාහිනිය ඇතුළටම ආයුධ සන්නද්ධ මැරයින් කඩාවදින විටද එවකට එහි සභාපතිවරයාව සිටි ආරියරත්න ඇතුගල මහතා හෝ ප්‍රධාන විධායක නිලධාරියාව සිටි මා නම් බියට පත් වූයේ නැත. එහි සේවකයන්ද බිය වූයේ නැත.

දැන් මේ කියන උද්ඝෝෂණයට සහභාගී වූ සිය ගණනක් පිරිස අතරින් මා පමණක් තෝරාගෙන මේ චෝදනාව  ඉදිරිපත් කර ඇත. කොමිසම හදන්නේ චෝදනාවට වැරදිකරුවන්ගේ ප්‍රජා අයිතිය අහෝසිකිරීමට බව කියනු ඇසේ. එසේ නම් මේ චෝදනාවට වැරදිකරුවකු වුවහොත් මගේ ප්‍රජා අයිතිය නැතිවනු ඇත්තේ අපක්ෂපාතී මාධ්‍යයක් උදෙසා පෙනී සිටීමේ “වරදටය”.

rupavahini lk

 

කරු පරණවිතාන

 

 

 

Social Sharing
නවතම විශේෂාංග