ජනාධිපතිතුමනි ජිනීවාවලට කියන්න

ජනාධිපතිතුමා කරපු ආසන්නම කතා කීපයක් අරන් බැලුවොත් ඔයාලට පේනවා ඇති ඒ කතා ඇතුලේ තියෙන්නේ එකම කතාව කියලා. රටේ රාළ මීට කලිනුත් ඔය කතාව කිව්වා. සමහරවිට ජනාධිපතිතුමා එක දිගට එකම කතාව කියන්නේ ඒ කතාව තහවුරු කරන්න හිතාගෙන වෙන්න ඇති.

කතාවක් තහවුරු කිරීමේදී එකට නියම තියරිය කියා දුන්නේ ගොබෙල්ස්. ගොබෙල්ස් කිව්වේ බොරුවක් උනත් සියවතාවක් කිව්වොත් ඒක ඇත්තක් විදිහට සමාජයේ තහවුරු වෙනවා කියලා. හැබැයි ඒක ඇත්තක් නෙවෙයි. ඇත්තක් විදිහට බොරුව තහවුරු කිරීමක්. පහුගිය නිදහස් දවසේ ජනාධිපතිතුමා කරපු කතාවේ එතුමා කිව්වේ රටේ මානව හිමිකම් තහවුරු කරලා තියනවා. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස, රටේ ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට ජීවත්වීමේ නිදහස තහවුරු කරලා තියනවා කියලා. ගිය 26 වෙනිදා ඇඹිලිපිටියේ මහවැලි ඔප්පු බෙදාදීමේ උත්සවය අමතලා එතුමා කරපු කතාවෙත් ඒ අදහස තිබුණා. තමන් කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදි සිමාවලින් බැහැර වෙන්නේ නැති බවත් එතුමා කිව්වා. හැබැයි ඒ නිදහස වරදවා වටහා ගන්න එපා කියලත් ජනාධිපතිතුමා කිව්වා. ඊළඟට ඉතිහාසයේ ඒ නිදහස උළ්ලංඝනය කරපු අවස්ථාවලට උදාහරණත් කිව්වා.

ඇඹිලිපිටියේ කතාවෙදී ජනාධිපතිතුමා බොහෝම පහසුවෙන් 88/89 ට ගියා. එතුමාට කලින් කතා කරපු මහින්දත් ඇල්ලුවේ ඒ ලයින් එක. ඇත්ත, ඒවා ඝාතන තමයි. හැබැයි 2022 ඉදන් 88/89 ට යනකොට 2010 – 2015 වේ හිටපු පෝද්දල ජයන්තලා, කීත් නේයාර්ලා, ලසන්ත වික්‍රමතුංගලා, ප්‍රගීත් එක්නැලිගොඩලා එතුමාට හම්බ උනේ නෑ. අරවා මිනිමැරුම් නම් මේවාත් මිනිමැරුම් තමයි. ඒවා පහරදීම් නම් මේවාත් පහරදීම් තමයි. ඇත්තටම රටේ රාළට මෙතනදී එන පළවෙනි ප්‍රශ්නය තමයි වර්තමාන ජනාධිපතිතුමා බලයට ඇවිත් මේ රටට අමුතුවෙන් දුන්න ප්‍රජාතන්ත්‍රවාදය මොකද්ද කියලා. එතුමා හිතන්නේ 20 වෙනි සංශෝධනය කියන්නේ මාර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයක් කියලද දන්නේ නෑ. මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න කුට්ටිලා, චන්ද්‍රසේනලා ඉල්ලන්නේ හිට්ලර් කෙනෙක්නේ. සමහරවිට ජනාධිපතිතුමා හිතන්නේ හිට්ලර්ට සාපේක්ෂව තමන් ප්‍රජාතන්ත්‍රවාදී කියලද දන්නේ නෑ. එහෙම හිතනවා නං අපරාදේ කියන්න බෑ ජනාධිපතිතුමා හරි.

කොහොමවත් එතුමාට හිට්ලර් කෙනෙක් වෙන්න බෑ. හිට්ලර් කියන්නේ පළවෙනි, දෙවෙනි ලෝක යුද්ධ මෙහෙයවපු යුදකාමී ජර්මන් නායකයා. අපි මේ බඩගින්නට ඉන්දියාවෙන්, චීනයෙන්, පකිස්ථානයෙන් හාල් පොල් ටික ඉල්ලගෙන ජීවත්වෙන ජාතියක්. එහෙම රටක නායකයෙකුට පුළුවන්ද හිට්ලර් කෙනෙක් වෙන්න. ඕනි නං පොඩි මැර ටයිප් එකක් ගනී. ඒත් ඉතින් මේ අහිංසක අපට තමයි. කොහොම උනත් මෙතනදී ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නං ඒක බලන්න ඕනි හිට්ලර්ට සාපේක්ෂව නෙවෙයි. අපේ රටේ තිබුණ ප්‍රජාතන්ත්‍රවාදයට සාපේක්ෂව. රටේ රාළ අහන්නේ මෙච්චරයි. 19 වෙනි සංශෝධනයෙන් ස්ථාපිත වෙලා තිබුණ ප්‍රජාතන්ත්‍රවාදයට සාපේක්ෂව ගෝඨාභය ජනාධිපතිතුමා දිනා දුන්න ප්‍රජාතන්ත්‍රවාදය මොකද්ද කියලා. එහෙම දිනා දුන්න එක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් තියනවා නං කියන්න. කිව්වොත් අවුරුදු තුනක් තිස්සේ දවස ගානේ ලියන මේ රටේ රාළ ලිපිය නතර කරනවා. ඇත්තටම මේ අවුරුදු දෙකේ කරුණු පෙල ගැහෙන්නේ ප්‍රජාතන්ත්‍රවාද අහිමිවීමේ පැත්තට මිසක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමේ පැත්තට නෙවෙයි.

ආණ්ඩුවට විරුද්ධව මත ප්‍රකාශ කරන අය මේ ආණ්ඩුව දඩයම් කරනවා. පාර්ලිමේන්තුවට ටෝච් එකක් ගෙනාපු එක බෝම්බයක් ගෙනාවටත් වැඩිය දරුණු එකක් විදිහට සලකන ආණ්ඩුව, පාර්මේන්තුවට මිරිස් කුඩු ගෙනාපු එක සලකන්නේ කොහොමද? අඩුම ගානේ CCTV දර්ශන සිය ගානක් තියන චමුදිතගේ ගෙදරට එල්ලවුණ අසූච්චි ප්‍රහාරය හොයා ගන්න ආණ්ඩුවට බෑ. ඒක චමුදිතම කරගත්තා නං ඒක හරි ඔප්පු කරලා පෙන්නන්න. ඇයි අප්පා මෙච්චරටම අපේ බුද්ධි අංශ හැල්ලු කරන්නේ. ඇයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙකේ කොලේටම දාන්නේ. ඊළඟට ආණ්ඩුව පහුගිය කාලෙම සමාජ ක්‍රියාකාරීන් දඩයම් කළා. තවමත් දඩයම් කරනවා. සුදු වැන් දාලා සිවිල් ඇදුමෙන් ඇවිත් මිනිස්සු උස්සනවා. අර ශෙහාන් සේමසිංහ කියන්නේ සමාජ මාධ්‍ය නියාමනය කරන්න ඕනි කියලා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න වෙන්න ඇති. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව කතා කරද්දී ජනාධිපතිතුමා කියන තත්වය නං ලංකාවේ නෑ. සුදු වෑන් එකක් ආවත් ඒක නං කියන්න ඕනි.

සමහරවිට එතුමා ඔය කියන්නේ ඇමරිකාවේ අද්දැකීම් ගැන වෙන්න ඇති. ඔය හැමදේම තියෙන්නේ එකම ඔළුවක් ඇතුළේ උනහම සමහරවිට Update වෙද්දී පැටලෙනවා. ලංකාවේ තියන ඇත්තම තත්වය ඔන්න මිෂෙල් බැච්ලේ කියලා තියනවා. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්. ඊයේ ජිනීවා මානව හිමිකම් කොමිසමත් පටන් ගත්තා. මාර වැඩේ කියන්නේ ඒකේ සලකා බලන පළවෙනි කාරණය යුක්‍රේන අර්බුදය. දෙවෙනි එක ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය. ජනාධිපතිතුමා මේ රටේ මිනිස්සු කියනදේ ඇහෙන්නේ නැත්තං. රටේ රාළට කියන්න තියෙන්නේ දැන් ජනාධිපතිතුමාට පුළුවන් මිෂෙල් බැච්ලේ මානව හිමිකම් කොමිසමට ඉදිරපත් කරලා තියෙන වාර්තාව අරන් බලන්න. බලලා අපට ඔය කියන ටික මිෂෙල් බැච්ලේට කියන්න. අඩුම ගානේ මිෂෙල් බැච්ලේ බොරු කියන්න එපා කියලා හරි කියන්න. එයාටත් කියන්නකෝ මේ ලබාදීලා තියන නිදහස,ප්‍රජාතන්ත්‍රවාදය ගැන වැරදි විග්‍රහ කරන්න එපා කියලා.

අපිට මෙහේ ලොකු ටෝක් දෙන අපේ නායකයෝ ජීනීවාවලට එක එක පොරොන්දු දෙනවා. අරක කරන්නං මේක කරන්නං කියලා. හැබැයි එහෙම කියලා මෙහේ ඇවිත් කරන්නේ වෙන දෙයක්. ඇත්තටම රාජපක්ෂලා හිතනවා මේ රටේ මිනිස්සු රවට්ටනවා වගේ ජිනීවා මානව හිමිකම් කොමිසමත් රවට්ටන්න පුළුවන් කියලා. ඒක දැන් ජිනීවාකාරයොත් දන්නවා. ඉස්සර ජීනිවා කොමිසමේ යෝජනාවලට පක්ෂව කතා කරන අයට රාජපක්ෂලා කිව්වේ ද්‍රෝහීන් කියලා. රට පාවලා දෙනවා කියලා. ඇමරිකාව ප්‍රමුඛ විජාතික බලවේගවලට රට පාවා දෙන්න කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා. එහෙම කිව්ව විමල්ලටත් දැන් ප්‍රජාතන්ත්‍රවාදය නෑ. හැබැයි දැන් රාජපක්ෂලාටත් එහෙම කියන්න බෑ. එදා රාජපක්ෂලා කිව්ව විදේශ බලවේගවලට මේ රට දැන් රාජපක්ෂලා විසින්ම යටත් කරලා දීලා ඉවරයි. දැන් මේක ආය වෙන කාටවත් යටත් කරන්න දෙයක් නෑ. දැන් රාජපක්ෂලා මේක ඇමරිකාවට, ඉන්දියාවට විතරක් නෙවෙයි බංගලිදේශයයටත් යටත් කරලා ඉවරයි. සමහරවිට ඊළඟට මාලදිවයිනට වෙන්නත් පුළුවන්.

කොහොම හරි ශ්‍රී ලංකාව ගැන ජිනිවා මහ කොමසාරිස් මිෂෙල් බැච්ලේ ඉදිරපත් කරලා තියෙන වාර්තාවේ තියෙන්නෙත් මේ රටෙන් රාජපක්ෂලාට එල්ල වෙන චෝදනා ටිකම තමයි. ඒ වාර්තාවෙන් එයාලා කතා කරන්නේ සිවිල් සේවය මිල්ටරීකරණය කරන එක ගැන. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අසාධාරණ විදිහට කරන පුද්ගල රදවා තැබීම් ගැන. පොළිස් අත්අඩංගුවේදි සැකකරුවන් මියයෑම ගැන, පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුනොවීම ගැන, නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය ගිලිහීම ගැන. ඊළඟට එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති විදිහට ගලගොඩ අත්තේ ඥාණසාර උන්නාන්සේ පත් කිරීම ගැන. ඇත්තටම මිෂෙල් බැච්ලේ කියන්න ඉස්සෙල්ලා ඕවා ගැන රටේ රාළ කතා කලා. රටේ රාළ නෙවෙයි මේ රටේ සිහිබුද්ධිය තියන හැමදෙනාම ඒ වැඩේට විරුද්ධ උනා. ඇත්තටම කැබිනට් එකේ බහුතරය පවා ඥාණසාර උන්නාන්සේ එතෙන්ට පත් කරලාට විරුද්ධයි. කැබිනට් එකට දීලා තියන ප්‍රජාතන්ත්‍රවාදය හින්දා ඕවා කියන්න බැරිව ඉන්නේ.

ඊළඟට උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ජනතාවගේ ඉඩම් පැහැර ගැනීම ගැන මිෂෙල් බැච්ලේ කතා කරලා තිබුණා. ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියනවා. එක එක අමාත්‍යාංශවල, ඒක එක ආයතනවල බෝඩ් යටතේ උතුරේ, නැගෙනහිර ජනතාවගේ ඉඩම් ටික මංකොල්ල කනවා. උතුරේ ඉඩම්වල වැලි කපන්න බලපත්‍ර ගත්ත දකුණේ කීදෙනෙක් ඉන්නවද? රටේ රාළ දන්න එහෙම දෙයක් පහුගිය දවසක ත්‍රිකුණාමලේ උනා. අන්තිමට ත්‍රිකුණාමල ජනතාව ඇමැති ගෝලයා පන්නලා දැම්මා. ඇමතිත් හොඳට කුණුහරප අහගත්තා. ඇත්තටම උතුරේ වගේම නැගෙනහිර සම්පත් පරිහරනය කරද්දී ඒවායේ මූලිකත්වය දෙන්න ඕනි ඒ ප්‍රදේශවල ජනතාවට. ඒක සිංහල ප්‍රදේශයක උනත් දෙමළ, මුස්ලිම් ප්‍රදේශවල උනත් එහෙමයි වෙන්න ඕනි. ඒක නිසා මේ ආණ්ඩුව සංහිදියාවට අදාළව නං කිසිම දෙයක් කරලා නෑ. සංහිදියාව නැතිම කරලා දාලා. මේ සියලු චෝදනා ඉදිරිපත් කරලා මිෂෙල් බැච්ලේ අවසාන වශයෙන් කියන්නේ ශ්‍රී ලංකා රජය බරපතල විදිහට මානව හිමිකම් කඩ කරනවා කියලා.

ජනාධිපතිතුමා අපිට ඔය කියන ලස්සන චිත්‍රය ලෝකේ නං කොහේවත් නෑ. ඇත්තටම ලෝකේ නෙවෙයි එහෙම හැගීමක් මේ රටේ අති බහුතර ජනතාවගෙත් නෑ. ඒක නිසා රටේ රාළ හැමදාම කියන විදිහට ජනාධිපතිතුමා තවමත් යන්නේ කෙලින් බලාගෙන විතරයි. එතුමා වටපිට බලන්නේ නෑ. පස්ස හැරිලා නං බලන්න එතුමා කැමතිම නෑ. සමහරවිට ඒක මදිපුංචිකමක් කියලා හිතනවද දන්නේ නෑ. ඇත්තටම එහෙම කරනවා නං ඒක මදිපුංචිකමක් නෙවෙයි. ඒක ජනාධිපතිතුමා ළග තියන හොද ලක්ෂණයක් කියලා ජනතාව කියයි. ඒක අගය කරයි. හැබැයි ඒක නොකර ඔහොම යනතාක් ඒක ජනාධිපතිතුමා ඇතුළේ තියන හීනමානයක් කියලා ජනතාව කියයි. කිව්වේ නැති උනත් එහෙම හිතයි.

එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි.ජයවේවා

මීට
රටේ රාළ.
ප්‍රියන්ජිත් විතාරණ

Social Sharing
නවතම විශේෂාංග