ආණ්ඩුවේ ජෝගී සහ මහ පොළවේ ඇත්ත..

ජාතියේ ආරක්ෂාවට ජාතියේ පිනට අරකට මේකට කියා දහසකුත් එකකට පහළ වූ ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට මේරට විනාශයට ගෙන ගොස් අවසන්‍ ය.

අලියාගේ මුලු ශරීරයම දියේ ගිලී ඇත. දැන් ඉතිං හොඬවැලක් තිබෙන නිසා එය ඔසවාගෙන සිටින අලියා අමාරුවෙන් හුස්ම ගනිමින් සිටී. තව ටික කලකින් හොඬය ද දියේ ගිලී අලියාට කෙළවීම යනු ඇත. එහෙත් අලි බාසුන්නැහේට කමක්කාරියක් පෙනෙන්නට නැත.

මේ ලියුම්කරු ඊයේ සවස කොළඹ 08 සිට ගාල්ලට යතුරු පැදියක ගියේ ය. මුලින්ම සෙපෙට්කෝ තෙල් හලකට ගියේ තෙල් ටැංකිය ෆුල් කරගන්නය. එහෙත් කිලෝමීටරයක් විතර පෝලීම අස්සේ සිරවීම තේරුමක් නැති බව කල්පනාවී ඊට යාබද ඉන්දියානු තෙල් හලට ගියරය මාරු කළේය. එම හලේත් මඳ පෝලිමක් උනත් පැය බාගයක පමණ ප්‍රමාදයකින් තෙල් ගසා ගත්තේ ය. ඊටපසු ගාල්ලට යනකම් බොහෝ තෙල් හල් නිරීක්ෂණය කළ මේ ලියුම්කරුට පෙනුනේ ඒ හැම එකකම වාගේ තෙල් පෝලිම් බවය. සමහර තෙල් හල්වල තෙල් නැත. පොම්ප හිස්ව උඩුකුරුව මීටරය උඩ වැටී නිදන්නේ ය. අහෝ රටකට ගිය කලක්..!

බොහෝ පෝලිම් වල දාඩිය පෙරන පදින්නෝ එලවනෝ ලා ගෝඨාභයට සහ පවුලේ සැමට බනින්නේ හතර නින්දා වෙන්‍ ය. ඒ බොහෝ දෙනෙක් ස්ව වින්දනයට වාගේ තමන් ඡන්දය දුන්නේත් සර්ට බව කියයි. තමන් මෝඩ උන බව පරසක්වල ගසත්, ඒ මිනිසුන් තමන් 69 ලස්සයේ නියෝජිතයන් බව දිව්රා පොරොන්දු වෙත්.

මේ පෝලිම් අස්සේ ජනතා නායකයෝ ඩීසල් නැව්වලට මල් මාලා දමන යුරු මාධ්‍ය ප්‍රචාරය කරයි. ඉන්දියාව සමග හාල් තෙල් පොල් ගන්න ණය ගිවිසුම් අත්සන් කරන්න මොළ හතාණෝ ඉන්දියා යන බව තවත් උජාරු නිවුසෙකක් ය. සමහරු තෙල් සල් වල හිඳ ඒ වෑයේ එල්වා ඇති රසවාහිනී තුළින් මේවා නරඹයි. අහෝ..! මේක නම් මාරම නාට්‍යක් ය.

CEYPETCO ceylon petroleum corporation sri lanka economic crisis

ඒ අස්සේ ඉන්ධන මිල වැඩි කිරීමට අවසර නොදෙන්නේ නම් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබා දීමේ තීරණයකට එනබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෑගසන්නේ ය. සිඳී ගිය එම ඉන්ධන හලේ සභාපති සුමිත් විජේසිංහ කියන්නේ එම තීරණයෙන් පසුව තමන් තෙල් ගසන්නේ, විදුලි බලාගාර, දුම්රිය, මගී බස් රථ, ත්‍රිවිධ හමුදාව, පොලීසියට පමණක් බවය.

‘හා එහෙම කරන්න අවුලක් නෑ’ අපිට කියන්න වෙන්නේ එහෙමය.

මේ වෙනකොට රාජ්‍ය තෙල් සලේ (දන්සලේ) දෛනික අලාබය රුපියල් කෝටි 365 කට වැඩි බවද පවසන එහි ලොක්කා ඉන්ධන මිල ඉහළ නොදැම්මොත් ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් වෙනුවෙන් ගෙවීමට රුපියල් පවා එකතු කර ගැනීමට බැරිවෙන බව පවසයි.

මේ පාඩු ලබන රාජ්‍ය තෙල් සලට අපිට කියන්න තියෙන්නේ, පිනට කන උබලා යටතේ මැස්සෝ ඉහිරෙන සේවකයන් ගණන අවශ්‍ය අවම ගාණට අඩු කරපල්ලා කියා ය. උබලා ගන්නා දීමනා පැස මීතොටමුල්ල කුණු ඇලට වීසිකරපල්ලා කියා ය. එහෙම නැත්තං ඔය උලව්වත් ඉන්දියන් ඔයිල් සලට ෆූට්ටුකරලා උඩ බලාගනිල්ලා කියලා ය.

දියේ ගිලුන එකා මුලින්ම පිදුරු ගහක එල්ලිය ‍යුතුය. ඒක හරිය. ඉන්දියාවේ එල්ලුනාට කම් නැත. ඒත් මේ අර්බූදයෙන් ගොඩ එන්නට ඉන්දියාවේ එල්ලී සිටින ගමන් උත්සාහ කළ යුතුය. අඩුම මේ තියෙන ණය කන්ද නොගෙවා ඒවා කල්දමාගන්නේ කොහොමද කියා හෝ රාජ්‍යතාන්ත්‍රිකව සාකච්ඡා කළ යුතුය. එහෙමත් නැත්තං තියෙන තියෙන මඟුල් ඉන්දියාවට දීගෙන දීගෙන යා යුතුය. චීනාට දෙනවාට වඩා ඉන්දියාවට දෙන එක හොඳය. දීලා දීලා අන්තිමට ලංකාව කියන මේ ඇටේත් ඉන්දියාවට ෆූට්ටු කරලාම දැම්මානම් අහවරය.

ඒත් ඉතිං වෙළඳපොළත් වියත්මග චින්තනයෙන් ක්‍රියාත්මක වෙනවා යැයි සිතන වර්තමාන ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට මේ අර්බුදය විසඳන්න මඟක් නැති බව පෙනෙයි.

මෙවැනි බරපතළ අවස්ථාවක රට තව තවත් ආගාධයට නොයවා වර්තමාන පාලකයන්ට කරන්නට තිබෙන්නේ තමන්ට බැරිනම් කරන්න පුලුවන් කෙනෙකුට රට භාර දෙන එකය. ඒ මේක රටක් මිස මැදමුලන පොල්වත්ත නොවෙන නිසා ය.

මේක මැදමුලන පොල් වත්ත නම්, කරන්න බැරිනම් කරන්න පුලුවන් කෙනුකුට දෙන්න යැයි අපිට කියන්නට අයිතියක් නැත. ඒත් මේක රාජපක්ෂ පුද්ගලික දේපොලක් නොවෙන නිසා ඔවුන් තාවකාලික පාලකයෝ පමණක් නිසා අපිට එසේ කියන්නට අයිතියක් ඇත.

මෙම තත්ත්වය තුළ ජනතාවත් තමන් තව දුරටත් එක වේලක් පමණක් කාලා තෙල් පෝලිම්වල ඉන්නවා දැයි කල්පනා කළ යුතුය. අහසට නඟින බඩු මිල දිහා බලාගෙන හා එහෙම කරන්න යැයි තව තවත් කියනවා දැයි සිතිය යුතුය. එසේ නැතිනම් මේක කරන්න පුලුවන් පිරිසකට භාර දෙන්න යැයි හඬ නැඟිය යුතුය.

-කේ. සංජීව-

Social Sharing
නවතම විශේෂාංග