ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවේචනාත්මක ආකාරයකින් කටයුතු කරන මාධ්‍යවේදින් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් පස් දෙනකු සති දෙකකටත් අඩු කාලයක් තුලදී අඩන්තේට්ටමට ලක්වී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රම ගේ නිවසට ආදරවන්තයන්ගේ දිනය දා එල්ල වු අසුචී සහ ගල් ප්‍රහාරයේ වගකීම තවමත් නිශ්චිත ලෙස කිසිවකුත් සෘජුව චෝදනා ලබා නැති නමුත් අනෙක් සිව් දෙනාම හිරිහැරයට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියෙනි.
මේතාක් යුක්තිය ඉටු නොවු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් හඬ අවදි කළ තරුණ දේශපාලන ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මාධ්‍යවෙිදී චමුදිත සමරවික්‍රමගේ නිවසට මැර ප්‍රහාරය එල්ල වු දිනයේ මය.
ෂෙහාන් මාලක ගමගේ 2021 වසරේ අගෝස්තු දාහත්වැනි දා මරදාන සමාජය සහ සාමයික කේන්ද්‍රයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට මේතාක් යුක්තිය ඉටු නොවීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුනි.
එම මාධ්‍ය හමුවේ සිදු කළ අහස් දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සදහා දින ගණනාවක්ම ෂෙහාන් මාලක ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැදවීමට කටයුතු කර තිබුනි.
පෙබරවාරි 14 වැනි සදුදා තමන් අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර ෂෙහාන් මාලක ගමගේ සමාජ මාධ්‍ය වෙත සජීවී වීඩියෝවක් මුදා හරිමින් දැනුම් දී තිබුනේ සුදු වෑන් රථයකින් පැමිණි පොලීසියේ බව පවසන පුද්ගලයන් පස් දෙනකු මහ මගදී තමන් අත්අඩංගුවට ගත් බවයි. තමන් අත්අඩංගුවට ගත් හේතුව නොදන්නා බවත් ඔහු එහිදී සදහන් කර තිබුනි.
කෙසේ නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ෂෙහාන් මාලක ගමගේ ඇප මත මුදා හරින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 15 වැනි අගහරුවාදා නියෝග කර තිබේ.
මේ අතර සමාජ මාධ්‍ය ක්‍රියාධරයෙක් වන මනෝරම වීරසිංහ සිය මුහුණු පොතේ සටහනක් තබමින් දැනුම් දී ඇත්තේ නිශ්චිත හේතුවක් නොදන්වා තමන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව වෙත කැදවා ඇති බවයි.
ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදෙන නැගෙනහිර පළාතේ දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනකුද පසුගියදා පොලීසියේ හිරිහැරයට ලක්ව තිබුනි.
පෙබරවාරි 9 වැනිදා එරාවුර් පොලීසියේ විශේෂ විමර්ශන ඒ්කකයට කැදවා මාධ්‍ය වාර්තා සිදු කරන ආයතන හා ආදායම් ලැබෙන මාර්ග සම්බන්ධයෙන් පැය දෙකකට ආසන්න කාලයක් මඩකලපු දිස්ත්‍රික් දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් හා නිදහස් මාධ්‍යවේදී සෙල්වකුමාර් නිලාන්දන් ගෙන් පොලීසිය ප්‍රශ්න කර තිබුනේ හය මාසයක් ඇතුලත දෙවැනි වතාවටය.
අධිකරණයට අසත්‍ය තොරතුරු ලබා දෙමින් නැගෙනහිර පළාතේ දෙමළ මාධ්‍යවේදියකුට එරෙහිව පෙබරවාරි 04 වැනිදා තහනම් නියෝගයක් ලබා ගන්නටත් පොලීසිය කටයුතු කර තිබුනි.
මාධ්‍යවේදී පුන්‍යමුර්ති සසිකරන් ගේ නිවසට නිල ඇදුමින් පැමිණි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඔහුට ලබා දී ඇත්තේ නැති උද්ඝෝෂණයකට සහභාගි වීම තහනම් කරමින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකි.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාවකට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද මානව හිමිකමි වාර්තාව 2022 මාර්තු 03 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන මොහොතක රටේ මාධ්‍යවේදීන්ට එල්ල වී තිබෙන තර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන වල මෙන්ම දේශපාලන පක්ෂ වලද විරෝධය පල වී තිබේ.