ඔමික්‍රෝන් හැමතැනම, සෞඛ්‍ය අංශ බිය පළ කරයි!

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදය සමාජයේ හැම අස්සකටම ව්‍යාප්ත වී ඇති බවද බොහෝ ප්‍රදේශවල වෛරස් උණක් සේ මෙය ව්‍යාප්ත වෙමින් ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිළධාරියෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය.

රට ආර්ථික වශයෙන් දැවැන්ත කඩාවැටීමක සිටින පසුබිමක රට වසාදැමීමක් පිළිබඳව සිතාගන්නටවත් බැරිබව ප්‍රකාශ කරන එම ප්‍රකාශකයා, මෙම අර්බූදය තුළ කොවිඩ් ව්‍යාප්තිය පුංචි දෙයක් වී ඇතැයි ප්‍රකාශ කරයි. මේ අතර මෙම රෝග ව්‍යාප්තිය ගැන අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ පැතිර පවතින බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සඳහන් කරයි. රෝග ලක්ෂණ රහිත ආසාදිතයන් අති විශාල සංඛ්‍යාවක් සමාජය තුළ දැකිය හැකි බවද පවසන ඒ මහතා ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජය තුළ පැතිර ඇතැයි පිලිගෙන කටයුතු කිරීම සුදුසු බව ප්‍රකාශ කරයි.

පසුගිය පෙබරවාරි 02 දා නැවතත් දෛනික කොරෝනා ආසාදිතයන් ප්‍රමානය 1000 සීමාව ඉක්මවා ගිය අතර ඒ අනුව එම දිනයේ ආසාදිතයන් 1,156 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා විය. පසුගිය පෙබරවාරි 01 දා කොරෝනා මරණ 19 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,492 ක් දක්වා ඉහළ ගොස්  ඇත.

මේ මරණ සංඛ්‍යාව ඉහළ යෑම ගැන අදහස් දක්වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරන්නේ කොවිඩ් මරණ මෙතරම් වැඩිවුණේ ආණ්ඩුවේ දුර්වල කොවිඩ් මර්ධන ප්‍රතිපත්තිය නිසා බවය.

Social Sharing
නවතම