13 එපා, යාපනේ විරෝධතා…

ඉන්දියාවේ උවමනාව මත උතුරේ ජනතාව ඒකීය රාජ්‍යයක් තුල කොටු කිරීමේ අරමුණෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් හෙලා දැකීමට දහස් ගණනින් ජනයා එක්ව යාපනයේදී විරෝධතා දක්වා ඇතිබව වාර්තා වෙයි.

‘තිස් හතර අවුරුද්දකට කලින් ජනතාව ප්‍රතික්ෂේප කරපු ඒකීය රාජ්‍ය පාලනය තවදුරටත් ඔසවන දෙමළ පක්‍ෂ ඉන්දියාවේ අල්ලේ නැටවෙමින්, සිංහල නායකයන්ගේ න්‍යාය පත්‍රයට අනුව ජනතාව රවටනවා’ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්  යාපනේ නල්ලුර් වලට රැස්වූ දහස් ගණන් `13 වැනි ව්‍යවස්ථා සංශෝධන` විරෝධී ජනයා අමතමින් ප්‍රකාශ කර ඇත.

ඉන්දීය සාම සාධක හමුදාව රටින් පිටවන ලෙස ඉල්ලා උපවාස කරමින් ජිවිත පරිත්‍යාග කළ දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ යාපනය දිස්ත්‍රික් දේශපාලන නායක රාසයියා පාර්තිපන් හෙවත්  කර්නල් තිලීපන් ගේ නල්ලුර් පිහිටි  සමරු ස්මාරකය අසලින් පසුගිය 30 දා උදෑසන ඇරඹි `13 එපා` රථ පෙළපාලිය සංගිලියන් උද්‍යානය දක්වා ගමන් කර ඇත.

එහිදී පැවති විරෝධතා රැලියේදී  TNPF නායක පොන්නම්බලම් වැඩි දුරටත් කියා සිටියේ ජනතාවගේ ප්‍රශ්න විසඳන බවට ප්‍රතිඥා දෙමින් පාර්ලිමේන්තු ගිය 11 දෙනකු, ඒකීය රාජ්‍ය පාලනය ඔසවමින්, නව ව්‍යවස්ථාවක් ගෙනෙන බව පවසන ආණ්ඩුවට සහාය වන බවයි.

‘ඉදිරි මැතිවරණයේදී අපට ඡන්දය දෙන්න ඕනේ නැහැ. නමුත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ක්‍රියාකර ඒකට සහාය දක්වන අය එළවා දමන්න’යැයි TNPF නායකයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

13th amendment to the constitution of sri lanka protest in jaffna13th amendment to the constitution of sri lanka protest in jaffnaදෙමළ ජාතික ජනතා පෙරමුණ මෙම විරෝධතා ව්‍යාපාරය ’13 එපා’ යන සටන්පාඨය ඔස්සේ ඉකුත් 27 වැනිදා වවුනියාවේ පොංගු තමිල් ස්මාරක අසලින් ආරම්භ කෙරුනි. වවුනියා නගරය ඔස්සේ ගමන් ගත් විරෝධතා රථ පෙළපාලිය ‘ඒ නයින්’ මාර්ගය ඔස්සේ නෙඳුන්කර්නි හරහා මුලතිව් දක්වා ගමන් කොට ජනවාරි 28 වැනිදා යාපනය නගරයට සේන්දු විය. 29 වැනිදා විරෝධතා රථ පෙළ වඩුක්කෝට්ටෙයි TNPF කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ කොට ජනතාව දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදා හරිමින්, ප්‍රදේශය පුරා විදී සංචාරය කළේය. මෙහිදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මළගම සංකේතවත් කරමින් විරෝධතාකරුවෝ මිනීපෙට්ටියක් කරතබාගෙන ගියහ.

සිව් දිනක් පුරා පැවති විරෝධතා රථ පෙළපාලියට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්, නීතිඥ කනගරත්නම් සුගාස් ඇතුළු එම පක්ෂයේ පලාත් පාලන නියෝජිතයන් සහ ක්‍රියාකාරීන් රැසක් එක්වූ අතර අතුරුදහන් කළවුන්ගේ ඥාතින්ද  විවිධ අවස්ථාවන් හිඳී මීට එක්වී තිබේ.

Social Sharing
නවතම