ජිනීවා යන්න කළින් ගෝඨා ටීඑන්ඒ ළඟට.

ජිනීවා මානව හිමිකම් සමුළුව ඇරඹීමට ප්‍රථම දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ජා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තීරණය කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් ප්‍රකාශ කර ඇත.

‘ඉන්දියාවට ලියුම් යැවීමට අවශ්‍ය නැහැ. අපේ ප්‍රශ්න රට තුළ විසඳාගන්න පුළුවන්. ඒකට හොඳම මාර්ගය ජනාධිපති, අගමැති සමග හා  පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කර ප්‍රශ්න නිරාකරණය කර ගැනීම. දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති අතර සාකච්ජා හමුවක් ඉතා ඉක්මනින් පවත්වන්න අපි අපේක්‍ෂා කරනවා’ යැයි විදේශ ඇමැති ජී.ඇල් පීරිස් පසුගිය 30 යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී  ප්‍රදේශයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙස පැවසීය.

විදේශ අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් ‘දෙමළ ජාතික සන්ධානයත් එක්ක කතා කරන්න ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කැමැත්ත පළ කරා කියා විදේශ ඇමැති පීරිස් කිව්වා. දින වකවානු ඉක්මනින් දන්වයි. අපිත් එක්ක කතා කරන්න ජනාධිපති පහුගිය ජුනි මාසේ දින නියම කරන් හිටියත් අන්තිම මොහොතේ එය කල් දැම්මා. දැන් ආයෙත් TNA එක්ක කතා කරන්න ආණ්ඩුව ලක ලැහැස්තිවෙනවා’ යැයි ප්‍රකාශක කරයි.

ආණ්ඩුවේ මෙම නව ස්ථාවරය ප්‍රකාශයට පත්වුනේ බලය විමධ්‍යගත කරගැනීම වෙනුවෙන් ඉන්දීය මැදිහත්වීමක් ඉල්ලා TNA ප්‍රමුඛ දෙමළ පක්ෂ හයක් විසින් අගමැති නරේන්ද්‍ර මෝඩිට සන්දේශයක් යවා දෙසතියක් ගතවෙද්දීය.

Social Sharing
නවතම