ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොදී බුදුන් වැඩියත් රට හදන්න බෑ

උතුරේ ජනතා ප්‍රශ්නයට තිරසර විසඳුමක් නොදී බුදුන් වහන්සේ වැඩියත් මේ රට ගොඩගන්න බැරි බවත් එම නිසා රට ගොඩ ගන්න ඕනේ නම් දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දීම ප්‍රමුඛතම කාර්ය ලෙස කළ යුතු බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ප්‍රකාශ කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන පසුගිය 22 දා පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමින් එම මන්ත්‍රීවරයා

ප්‍රකාශ කළේ ආණ්ඩුව සම්පුර්ණයෙන්ම දෙමළ ජනයා අත්හැර දමා ඇති බව ජනාධිපතිවරයාගේ කතාවෙන් මනා ලෙස පෙන්නුම් කරන බවය.

දෙමළ ජනයාගේ දීර්ඝ කාලින ප්‍රශ්නයට කිසිම විසඳුමක් ජනාධිපතිගේ කතාවේ නැති බවත්, පහුගිය දශක ගානක් දෙමළ ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තකට දාලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමින් ස්වයං නිර්ණය අයිතිය, පෙඩරල් ක්‍රමයක්  ඉල්ලා සිටි බවත්, රාජපක්‍ෂ ආණ්ඩුව යුද්ධය කරලා ඒවා අත් රින තත්වයට පත් කළ බවත් ප්‍රකාශ කරන එම මන්ත්‍රීවරයා ‘දැන් ජනාධිපති ගෝඨාභය කියනවා දෙමළ ජනයාට දේශපාලන විසඳුම් අවශ්‍ය නැහැ, ඕනෑ කරන්නේ ආර්ථික රැකවරණයක් විතරක් කියා’ යැයි ද ප්‍රකාශ කළේය.

දෙමළ ජනයා බහුතරය වෙසෙන ප්‍රදේශවල සිංහල ජනාවාස පිහිටුවීමත්, ඒ සඳහා දෙමළ ජනයා සතු ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමත්, සිදුවනුයේ ඒකීය රාජ්‍ය සංකල්පය යටතේ බව පවසන මන්ත්‍රීවරයා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ එවැනි දේ සිදුවිය නොහැකි බව ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම