හඩනූ මැන නිදහස,

පහුගිය 21 වෙනිදා කියන්නේ ජනාධිපතිතුමාගේ රාජාසන කතාව වෙනුවෙන් පැවැත් වුණ විවාදයේ අන්තිම දවස. එදා පාර්ලිමෙන්තුව ඇතුළෙන් කතා ගොඩක් ඇහුණා. ගොඩක් ඒවා වැඩකට නෑ. ඒත් ඒවයින් කතා කරන්න ඕනි කියලා රටේ රාළට හිතුණ කතා තුනක් තියනවා. එකක් තමයි හරීන් කරපු කතාව. අනික ඩයනා ගමගේ ජනාධිපතිතුමාගෙයි, පාර්ලිමේන්තුවෙයි කාලය තව අවුරුදු දෙකක් දික් කරන්න ඕනි කියලා කරපු යෝජනාව. ඊළඟට එස්.එම් හිට්ලර් කෙනෙක් ඉල්ලපු කතාව. හැබැයි මේ ලිපියෙන් කතා කරන්නේ හරින්ගේ කතාව ගැන විතරයි. අනිත් දෙක ගැන වෙනම කතා කරමු. ඇත්තටම හරීන් හොඳ කතාවක් කළා. හොඳ කතාවක් කියනවට වඩා හොදයි ඒක වැදගත් කතාවක් කියන එක. ඒ වගේම කියන්න ඕනි හරීන් කියන්නේ දක්ෂ කථිකයෙක්. හරියට ඉලක්කයට පහර දෙන්න පුළුවන් සජබේ ඉන්න කීපදෙනාගෙන් එක්කෙනෙක්. හරීන්ගේ කතාවෙන් හරීන් තර්ක දෙකක් ගොඩනැගුවා.

එකක් තමයි පාස්කු ප්‍රහාරයේ චූදිතයෙක් වෙන්න ඕනි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් රජයේ සාක්ෂිකාරයෙක් කරලා කියන තර්කය. ඒකට අදාළ අධිකරණයේදී ඉදිරපත් කරපු සාක්ෂි සටහනක් හරින් කියෙව්වා. ඒ වගේම ඒ සටහන හැන්සාඩ් ගත කළා. ඇත්තටම මෙතන එකක් නං පැහැදිලියි. පාස්කු ප්‍රහාරය කියන තුවාලය දවසින් දවස ඕජස් ගලන තුවාලයක් වෙලා. එදා පාස්කු ප්‍රහාරය එල්ල වෙලා හරියටම දින දෙකකින් රටේ රාළ ඒ ගැන ලිපියක් ලිව්වා. ඒ දවස්වල රටේ රාළගේ ලිපි පලවුනේ හෙළයාගේ ලියමන කියලා. රටේ රාළ හෙළයාගේ ලියමනෙන් පාස්කු ප්‍රහාරය ගැන කතා කළා. එදා ඒ වෙනකොට තිබුණා දත්ත මත තර්කය ගොඩනගලා රටේ රාළ කිව්වේ මේක මුස්ලිම් ආගමික අන්තවාදින් යොදාගෙන කරපු දේශපාලන ප්‍රහාරයක් කියලා.

ඒකට හොඳම සාක්ෂිය තමයි එවකට හිටපු නියෝජ්‍ය ඇමතේ වීර කුමාර දිසානායක. එයාට කතා කරලම රටේ රාළ ඒ විග්‍රහ කළා. ඇත්තටම අදත් රටේ රාළ කියන්නේ කවුරු කොහොම යට ගහන්න හැදුවත් අනාගතේ දවසක රටේ රාළ කියපු ඒ ඇත්ත සනාථ වෙන්න ඕනි. රටේ රාළ එදා කියපු කතාව අද ගොඩාක් දෙනෙක් කියන්න පටන් අරන්. කවුරු කොහොම කළත් පාස්කු ප්‍රහාරයේ විනිශ්චය ඉතිහාසය අපට ලබාදෙනවා දෙනවාමයි. ඒ වගේම ඒකට වගකිවයුතු අය දැනටමත් තමන්ගේ හෘද සාක්ෂියේ දඩුවමට ලක්වෙලා ඇති. ඊළඟට හරීන් රන්ජන්ට ජනාධිපති සමාව දිය යුතුයි කියන ඉල්ලීම කළා. ඇත්තටම මෙතනදී එක දෙයක් හරීන් ගැන කියන්න ඕනි. හරින්ගේ දේශපාලනයයි රටේ රාළගේ දේශපාලනයයි අහසට පොළොව වගේ වෙනස්. හරින්ලා ලිබරල්වාදියෝ. රටේ රාළලා වාමවාදියෝ. හැබැයි රාජපක්ෂලා වගේ වාමවාදියෝ නං නෙවෙයි.

කොහොම උනත් හරීන් තමන්ගේ සටන් සගයා උන රන්ජන් වෙනුවෙන් අඛණ්ඩ සටන් කරන මන්ත්‍රීවරයෙක්. ඇත්තටම එහෙම අවංකවම පෙනී ඉන්න සජබේ මන්ත්‍රීවරු කීපදෙනාගෙන් එක්කෙනෙක්. රන්ජන්ගෙන් හිස් වුන මන්ත්‍රීධූරයේ වහාම දිවුරුම් දුන් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමවත්, එච්චර ඉක්මනින් ඒ තනතූරට අජිත් පත්කරපු සජබෙ නායකත්වයවත් රන්ජන් වෙනුවෙන් එච්චර පෙනී ඉන්නේ නෑ. ඇත්තටම රන්ජන් වෙනුවෙන් මීට වඩා සටනක් කරන්න සජබෙට තිබ්බා. රන්ජන්ට අච්චු කරලා තියෙන්නේ අපරාධමය වරදකට නෙවෙයි. පහුගිය කාලේ ජනාධිපති සමාව යටතේ නිදහස ලබපු අයත් එක්ක සංසන්දනය කරද්දී ජනාධිපති සමාවක් ගන්න ඕනිවටත් වැඩිය සුදුසුකම් රන්ජන් තියනවා.

ඒ වගේම තමයි රන්ජන් නිදහස් කර ගැනීමේ සටන් පාඨය සජබෙට බිම නොතියා අරන්න යන්න තිබුණ සටන් පාඨයක්. ඒත් රන්ජන් ගේ සිර දඩුවමත් එක්ක සජබෙටත් ඒක අමතක වෙලා ගියා. ඒත් හරීන් ඒ සටන අතහැරියේ නෑ. හරීන්ගේ බෙල්ලේ තියන කළු පාට සාටකය ඒකට හොද සංකේතයක්. ඒ ඇත්ත කතා කරන්න ඕනි. හරින්ගේ ඒ ප්‍රතිපත්ති ගරුකකම අගය කරන්න රටේ රාළ පසුබට වෙන්නේ නෑ. 21 වෙනිදාත් හරීන් කළේ ඒක. ජනාධිපතිතුමා එකට වැඩකරන්න විපක්ෂයට කරපු ආරාධනාවක් එක්ක පවා රන්ජන්ට ජනාධිපති සමාව ගැනීම කේවල් කළා. ඇත්තටම හරීන් ආණ්ඩු පක්ෂය පැත්තට ඒ වෙනුවෙන් අත්සන් ලේඛණයක් පවා යැව්වා. ඒකට ආණ්ඩුවේ කීදෙනෙක් ආත්සන් කරයිද කියලා රටේ රාළ දන්නේ නෑ.

ඔක්කොම අත්සන් කළත් ඒ ගැන තීරණයක් ගැනීමේ අයතිය තියෙන්නේ ජනාධිපතිතුමාට. ඇත්තටම රන්ජන් ගැන අපේ රටේ අති බහුතර ජනතාව දරන මතයක් තියනවා. ඒ රන්ජන් හොඳයි කියන එක නෙවෙයි. පාර්ලිමේන්තුවේ ඉන්න 225 ට සාපේක්ෂව රන්ජන් හොඳයි කියන එකයි.

පාර්ලිමේන්තුව ඇතුළේ වගේම පිට ඉන්න දූෂිතයන්ට, හොරුන්ට විරුද්ධව රන්ජන් හඬක් නැඟුවා. ඒ වගේම ඔයාලාට මතක ඇති අරාබියේදී ඝාතනය කරපු රිසානාගේ ජීවිත බේරාගන්න රන්ජන් ලොකු සටනක් කළා. ඒක නිසා රටේ බහුතර ජනතාවට රන්ජන් ගැන කනගාටුවක් තියනවා. ඒ වගේම අති බහුතර ජනතාවක් රන්ජන්ට ජනාධිපති සමාවක් අපේක්ෂා කරනවා. රටේ රාළත් ඒ ඉල්ලීම ජනාධිපතිතුමාට කරනවා.

අඩුම වශයෙන් එළබෙන පෙබරවාරි හතර වෙනිදාටවත් රන්ජන් නිදහස් කරන්න ජනාධිපතිතුමා කටයූතු කරන්න ඕනි. කොහොමත් ඔය අච්චුව දිගටම ක්‍රියාත්මක වෙලා රන්ජන් නිදහස් වෙන දවසේ ආයෙත් රන්ජන්ව මේ සමාජය බාර ගනීවි. ගොඩක් වෙලාවට හිටියට වඩා බලවත් රන්ජන් කෙනෙක් එලියට එයි. හැබැයි පෙබරවාරි හතර වෙනිදා ජනාධිපතිතුමාට රන්ජන් නිදහස් කිරීමේ තීරණය ගන්න පුළුවන් නම් ජනාධිපතිතුමාටත් ඒ ගෞරවයේ ලොකු කොටස් අයිති වේවි. ජනාධිපතිතුමා දුමින්ද නිදහස් කිරීම ගැන හොඳ වගේම නරක අදහසක් සමාජය ඇතුළේ තියනවා. ඒ සිද්ධිය වෙනකොට ජනාධිපතිතුමා මේ රටේ ආරක්ෂක ලේකම්. ඒ වගේම දුමින්ද සිල්වායි ජනාධිපතිතුමයි අතර සමීප සම්බන්ධයක් තිබුණ බව කවුරුත් දන්නවා.

ඒත් ජනාධිපතිතුමාට කිසිම සම්බන්ධයක් නැති රන්ජන්ගේ සිද්ධියට ජනාධිපති සමාව දීම ගැන සළකා බැලීම යුක්ති සහගතයි. පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක නොවන රටේ රන්ජන්ට විතරක් නීතිය ක්‍රියාත්මක වීමෙන් අපේ රටේ තියන නීතියේ අඩුව හොඳට පෙන්වනවා. ඒ කියන්නේ මේ නීතියෙන් යුක්තිය ඉෂ්ඨ වෙන්නේ නෑ. ජනාධිපතිතුමා කිව්වෙත් එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරනවා කියලනේ. හැබැයි ජනාධිපතිතුමා පත්කරපු මේ රටට මහා විනාශයක් කරපු ලිත්‍රෝ ගෑස් සමාගමේ සභපති තෙෂාර ජයසිංහගෙන් කට උත්තරයක් ගන්න මේ රටේ නීතිය අසමත් වෙලා තියනවා. එහෙම නීතිය ක්‍රියාත්මක නොවෙන රටක තමයි රන්ජන්ට දුන්න දඩුවම ගැන ප්‍රශ්න කෙරෙන්නේ. රටේ රාළට කියන්නේ නීතියෙන් දඩුවම් කරපු රන්ජන්ට ස්වභාවික යුක්තිය යටතේ සාධාරණයක් කරන්න ජනාධිපතිතුමාට පුළුවන්.

නැතිනම් කවදා හරි දවසක මිනීමැරුම් චෝදනාවකට වරදකරු වෙච්චි දුමින්ද සිල්වාට ජනාධිපති සමාවදීමත් අධිකරණයට අපහාස කිරීමේ වරදට වරදකරු වෙලා ඉන්න රන්ජන්ට ජනාධිපති සමාව නොදීමටත් කියන කරණා දෙක මේ රටේ ජනතාව සනසන්දනය කරනවා. එදාට ජනතාව රන්ජන් නිදහස් කරලා ජනාධිපතිතුමාව වැරදිකාරයෙක් කරන්න බැරි නෑ. මොකද ජනතා අධිකරණයේ තීන්දුව ලියන්නේ ස්වාභාවික යූක්ති ධර්මය මත පිහිටලායි. ඒකට සාක්ෂි සපයන්නේ ඉතිහාසයයි. ඒ ඉතිහාසයට පගාව දෙන්න ජනාධිපතිටවත් බෑ. ස්තුතියි හරීන්.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

මීට

රටේ රාළ.

(ප්‍රයන්ජිත් විතාරණ)

Social Sharing
නවතම විශේෂාංග