උතුරේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සටන සාර්ථකයි!

පාලනයකින් තොරව ඉහල යන ඖෂධ මිල පහත හෙළන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුලික කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඊයේ (30) උදෑසන හතට  උතුරු පළාතේ ආරම්භ කරන ලද සංකේත වැඩ වර්ජනය අද (31) උදේ  හතට අවසන් වීමට නියමිතව තිබේ.

මෙම වර්ජනය උතුරු පළාතේ සියළු රෝහල් හා සෞඛ්‍ය ආයතන තුල  ක්‍රියාත්මක වූ අතර, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් ඇතුළු සියළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයන් වැඩවර්ජනයට සහභාගී විය.

එම වර්ජනයට සමගාමීව යාපනය නගරය පුරා  දැවැන්ත විරෝධතා පා ගමනකින් ගොස්, යාපනය බස් නැවතුම්පළ තුලදී විරෝධතා රැලියක් ද පැවැත්වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය කටයුතු කළේය.

එම රැලිය ඇමතූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ  කැදවුම්කරු රවී කුමුදේශ් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෙර වහා විසදුම් ලබා දෙන ලෙසත්, ගැටළු  විසදීමට හැකියාවක් නොමැතිනම් හැකි අයකුට බාර දී ඉවත්වන ලෙසත්ය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලයේ ප්‍රධාන ඉල්ලීම් පහත දැක්වේ.

  1. පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයන්ගේ උපාධිධාරී වැටුප් විෂමතාවය ඉවත් කිරීම,

 

  1. සමාන්තර සේවා සමග පවතින වැටුප් විෂමතාවය ඉවත් කල රනුක්ගේ වැටුප් කමිටු නිර්දේශ වහා ක්‍රියාත්මක කිරීම,

 

  1. වෛද්‍ය සේවාවේ ඒකාධිකාරියට ලක්ව ඇති සෞඛ්‍ය පරිපාලනය සදහා පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය නිලධාරීන් සදහා අවස්ථාව සලසා දීම,

 

  1. පාලනයකින් තොරව ඉහල යන ඖෂධ මිල, ගජ මිතුරන්ගේ ගසා කෑම සදහා ස්ථාපිත කර ඇති තාක්ෂණික ඇගයිම් මාෆියාව වැලැක්වීම සදහා විධිමත් කළමණාකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම,

 

  1. දීමනා විෂමතාවය ඉවත් කිරීම,

 

  1. අමාත්‍ය මණ්ඩලය අනුමත කළ මාණ්ඩලික සේවා තත්වය, සහ 5/7 උසස්වීම් ක්‍රමය සදහා වහා චක්‍රලේඛ නිකුත් කිරීම,

 

  1. රාජ්‍ය පරිපාලණ චක්‍රලේඛ 6/2006 මගින් ඇතිකර ඇති සේවා වර්ගීකරණය, උසස් වීම් ක්‍රමය, ඇතුලු අසාධාරණය වැඩවසම් ප්‍රතිපත්තිය ඉවත් කොට නව වැටුප් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම.
Social Sharing
නවතම