ණය වාරිකය ගෙවීමට සල්ලි හිරකරගෙන සිටීමෙන්, ගුවන්තොටත් ඉබේ වැහෙන ලකුණු!

ශ්‍රී ලංකාව වෙත පැමිණෙන විදෙස් ගුවන් යානා අයිති සමාගම්වල දේශීය නියෝජිතයන්ට එම සමාගම් සඳහා ගෙවන්නට ඩොලර් හිඟ වීමේ පසුබිම තුළ සහ පැමිණෙන ගුවන් යානා සඳහා මෙරටදී ඉන්ධන ලබා දෙන්නේ ඩොලර්වලින් ගෙවන්නේ නම් පමණක් නිසා ශ්‍රී ලංකාව වෙත පැමිණෙන විදෙස් ගුවන් යානාවල ප්‍රමානය එන්න එන්නම අඩුවෙමින් ඇතැයි ගුවන් තොටුපළ ආරංචි සඳහන් කරයි.

ගුවන් ප්‍රවේශ පත්‍ර විකිණීමෙන් හා ගුවනින් ගෙනඑන සහ යවන භාණ්ඩවලට අදාළව අයකරන මුදල්වල එම සමාගමට හිමි කොටස, ඩොලර්වලින් එම සමාගම්වලට ගෙවිය යුතු අතර, ඩොලර් හිඟය නිසා එම මුදල් ගෙවීම විශාල ප්‍රශ්නයක් වී ඇත. මෙම තත්ත්වය තුළ සමහර ගුවන් සමාගම් ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන්වාර තවදුරටත් පවත්වාගෙන යනවා දැයි කල්පනා කරමින් සිටින බවද සමහර සමාගම් ගුවන් ගමන් වාර දැනටමත් අඩු කර ඇතැයි ද දැන ගන්නට ඇත. වරාය තුළ අත්‍යාවශ්‍ය බඩු සහිත කන්ටේනර් විශාල වශයෙන් ගොඩගැසී තිබෙන පසුබිම තුළ මෙම තත්ත්වයන් දැවැන්ත අර්බූදයක් වෙත රට තල්ලු කරමින් ඇතැයි ආර්ථික විශේඥයන්ගේ මතයයි.

මේ වනවිට ලංකාව සතු විදෙස් විනිමය සංචිත බොහෝ සෙයින් හීනිවී ඇති අතර එය ජනවාරි මාසයේ ණය වාරිකය ගෙවීම සඳහා පමණක් ප්‍රමානවත් බව ද දැනගන්නට ඇත. එනිසා එම ඩොලර් සංචිතයද මෙවැනි කටයුතු සඳහා නිදහස් කිරීමේ අපහසුවක් ඇතැයි දැනගන්නට ලැබේ.

Social Sharing
නවතම