මඩකලපුවේ නඩු දෙකක් කල්මුනේ අධිකරණයට මාරු කරයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන ප්‍රහාරකයා ලෙස හඳුන්වන සහරාන් හෂීම් ගේ,  බිරියට එරෙහිව පවරා ඇති නඩු හා වව්නතිව් පොලිස් ඝාතනයට අදාළ නඩු සියල්ල කල්මුනේ අධිකරණය වෙත මාරු කර තිබේ.

අත් අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින සහරාන් හෂීම් ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාට එරෙහිව  පාස්කු ප්‍රහාරයට අදාලව පවරා ඇති නඩුව ඊයේ [14] මඩකළපුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී කැඳවිණි.

මඩකළපුව මහේස්ත්‍රාත් එම්.එන්.අබ්දුල්ලා නියෝග කළේ ලබන ජනවාරි 10 වැනිදා තෙක් සැකකාර ෆාතිමා හාදියා  රිමාන්ඩ් භාරයේ තබන ලෙසත්,ඇයට එරෙහිව ගොනු කර ඇති නඩු  මින් ඉදිරියට කල්මුණේ උසාවියේදී පවත්වා ගෙන යන ලෙසය.

වව්නතිව්, වලෙයිඉරව් පොලිස් මුරපොලේ 2018 නොවැම්බර් 29 වැනිදා රාජකාරියේ යෙදී සිටී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කොට ඔවුන් සතුව තිබු ගිනි අවි පැහැර ගැනීමට චෝදනා ලැබූ ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ පනස් හතර හැවිරිදි මොහොමඩ් ෂරිෆ් ආදම් ලෙබ්බේ,තිස් එක් වියේ පසුවන හම්සා මොහිදීන් ඉම්රාන්, මොහොමදු ආශිම් සියාම් ඇතුළු සිව් දෙනෙක් ලබන පෙබරවාරි 22 දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස මහේස්ත්‍රාත් අබ්දුල්ලා නියෝග කළේය.

ආණ්ඩුවේ බුද්ධි අංශවල තොරතුරු අනුව වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතනය කළ බවට අත්අඩංගුවට ගත්තේ හිටපු එල්.ටී.ටී.ඊ. සටන්කාමීන් දෙදෙනෙකි.

පාස්කු ඉරු දින ප්‍රහාරය එල්ල වීමෙන් පසු 2019 අප්‍රියෙල් 29 වැනිදා, වව්නතිව් පොලිස් නිලධාරි ඝාතනයට ජාතික තව්හිඩ් ජමාත් සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමත් සමග හිටපු  එල්.ටී.ටී.ඊ. සටන්කාමීන් දෙදෙනා නිදහස් කරනු ලැබුවේ මාස පහකට පසුවය.

Social Sharing
නවතම