අහ්නාෆ් ජාසීම්ට ඇප!

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් අත් අඩංගුවට ගෙන අවුරුදු දෙකට ආසන්න කාලයක් රඳවාගෙන සිටි තරුණ කවියෙකු වන අහ්නාෆ් ජාසීම් වෙත පුත්තලම මහාධිකරණය විසින් අද ( දෙසැම්බර් 15 දා) ඇප ලබා දී තිබේ.

2017 දී ලියා පලකළ ‘නවරසම්’ (நவரசம்) පද්‍ය සංග්‍රහය හේතුවෙන් සහ සිය ශිෂ්‍යයන් ‘අන්තවාදී මතවාදවල’ අනුගාමිකයන් බවට පත් කිරීම සහ  ඔවුන් ‘අන්තවාදී’ කරුණුවලට නිරාවරණය කිරීම ඔහුට විරුද්ධව නඟා තිබුණ චෝදනා ය.

2020 මැයි 16 දා  ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කිරීමකින් හෝ නඩු පැවරීමකින් තොරව  ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) යටතේ   රඳවාගෙන සිටි ඔහු පසුගිය ජුනි මාසයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුනි.

ඉන්පසුව නීතිපති දෙපාර්තමේන්තුව ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජාසීම්ට එරෙහිව පුත්තලම මහාධිකරණය වෙත අධිචෝදනා ගොනු කොට තිබුණි.

ඒ අනුව 2021 නොවැම්බර් 15 දා සහ දෙසැම්බර් 15 දා  පුත්තලම මහා අධිකරණයේදී මෙම නඩුව විභාග කෙරුණ අතර ඒ අනුව දෙසැම්බර් 15 දා ඔහුට ඇප ලබාදීමට පුත්තලම මහාධිකරණය නියෝග කර ඇත.

යුරෝපා සංගමය, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ මෙරට සිවිල් සමාජ සංවිධාන ඇතුළු විශාල පිරිසක් පසුගිය කාලය පුරා අත්තනෝමතික ලෙස රඳවා ගෙන සිටි අහ්නාෆ් ජසීම් නිදහස් කරන ලෙස රජයට බල කරමින් විශාල අරගලයක් ද ගෙන ගියහ.

-යශෝදරා වීරසිංහ-

Social Sharing
නවතම