ආණ්ඩුව පිපිරීමට නියමිතව ඇත්තේ මොන විදිහටද?

රටේ රාළ මේ ආණ්ඩුව ගැන කියපු අනාවැකි ගොඩක් සත්‍ය වෙලා ඉවරයි. ඒ වගේම ඉස්සරහදී සත්‍ය වෙන්න තව කීපයක් තියනවා. මීට මාස ගානකට උඩදී රටේ රාළ කියපුවා දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කියවන්න පටන් අරන්. අමු කැවිලි වගේ කියවනවා. ඇඟට දැනෙන දේ ඔළුවට ගන්නේ නැතිව ඔහේ කියවනවා.

දැන් විඳුරත් කියන්නේ මෙහෙම ගියොත් මේ ආණ්ඩුව පුපුරලා යන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි විජේදාසත් ඊයේ පෙරේදා  කිව්වා තව සති තුනකින් ලොකු සාගතයක් එක්ක ජනතා නැගිටීමක් එනවා කියලා. හැබැයි මේ ඔක්කොමලා 20 ටයි, අයවැයටයි අතර උස්සපු අය. අද ආණ්ඩුවේ කාගෙන් ඇහුවත් ඉතින් අහන්න තියෙන්නේ අඬවැඩියාවක්ම තමයි. ඕක මොකද්ද අනේ අර මොළ හතේ විද්වතාත් අඩනකොට. අනිත් අය ගැන කවර කතාද? එයත් මුදල් ඇමති වෙච්චි කාලේ දුන්න බ්‍රහ්මදත්ත ටෝක්ස් දැන් නෑ. සාගතයක් නං එන්න දෙන්නේ නෑලු. කොහොම හරි කන බොන ටික ගෙනත් දෙන්නම්ලු. හරියට sales rep කෙනෙක් වගේ. දැන් එයා රටට අර පිරිමැස්ම උගන්වනවා. හිතලා බලන්න කවුද මේ අපට පිරිමැස්ම උගන්නනේ කියලා? හොඳට මතක තියාගන්න. මේ තමයි ලෝකෙන් ණය අරන් ශත පහකට වැඩක් නැති නෙළුම් කුළුණු හදපු කෙනා. මහ කෑලේ සම්මන්ත්‍රණ ශාලා හදපු කෙනා, ගොවියට වතුර ටික නොදී රළපනාව උඩ Jogging Track හදන්න යෝජනා කළ ආර්ථික විශේෂඥයා.

ඇත්තටම අර අපේ සූපවේදී පබිලිස් සිල්වා මහත්තයට කිව්වා නං ඔයිට වැඩිය හොදට රටට අරපිරිමැස්ම ගැන කියා දෙයි. ඒ මනුස්සයා කියන්නේ බොහෝම වැදගත්, නිහතමානී මනුෂ්‍යයෙක්.තමන් දන්න දේ ජීවිතයට එකතු කරගෙනම ඒ ආදර්ශය රටට දුන්න කෙනෙක්. බැසිල්ලා වගේ නොදන්න, නොරකින ඒවා ගැන බොරු බයිලා ගහපු කෙනෙක් නෙවෙයි. විජේදාස රාජපක්ෂ නං කියන්නේ බැසිල්ට මොළ හතක් තියෙන්නේ හත පාස් නිසාලු. අයියෝ එහෙම අපහාස. හැබැයි රටේ රාළ එච්චරම පහලට බැසිල්ව දාන්නේ නෑ. අඩුම ගානේ අට පාස් ලෙවෙල් එකේ හරි තියනවා. මොකද බැසිල් තවම සටන අතෑරලා නෑ. ඔළුව නැතත් කද ෆයිට්. තවම උත්තර හොයනවා. සමහරක් ඒවට තාවකාලික උත්තරත් හොයාගෙනත් තියනවා. මෙතනදී බැසිල් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියනවා එකක් තමයි ආර්ථිකය පුපුරා යෑම නතර කර ගැනීම. අනික ආණ්ඩුව පුපුරා යෑම නතර කර ගැනීම.

මේක හරියට දැන් දෙපැත්ත පත්තු වෙන පන්දමක් මැදින් බැසිල් අල්ලගෙන ඉන්නවා වගේ වැඩක්. මෙතනදී මහින්ද ඉන්න තත්වයත් එක්ක එයා මේකට සක්‍රීයව දායක වෙන්නේ නෑ. හැබැයි මහින්දට මේකට සක්‍රීයව දායක වෙන්න පුළුවන් නම් මීට වඩා පොඩි දෙයක් හරි කරයි. ජනාධිපති ගෝඨාභයට මේක තේරෙන්නේ නෑ. ඒක නිසාම ඒ දෙන්නාටම යැපෙන්න සිද්ද වෙලා තියෙන්නේ විජේදාස කියන හත පාස් බැසිල් මත. බැසිල් එක්ක තවත් පොඩි කණ්ඩායමක් ඉන්න බව පේනවා. පී.බී. කබ්රාල්, ආටිගල, ඔය වගේ පිරිසක්. හැබයි මෙයාලත් එකාට එකා නෑ. කොහොම හරි බැසිල් දැන් උත්සාහ කරන්නේ කොහොම හරි ඩොලර් ටිකක් හොයා ගන්න. ඒකට තියෙන එකම උත්තරය ණය ගැණීම හා විකිණිම. විකිණීම කිව්වම විකුණන්නේ රාජපක්ෂලාගේ දේපල නෙවෙයි. රටේ සමිපත් හා මහජන දේපල. දැන් ණය ඉල්ලගෙන මෙයාලා ලෝකෙ වටේ යන්නේ පෝලිමේ නෙවෙයි පෙලපාලිවලින්. වටයක් බැසිල් යනවා. දැන් කබ්රාල් යවලා තියෙන්නේ.

මෙහේ ඉන්න තානාපතිවරු ගෙන්න ගෙන්න ගෙන බැසිලුයි, ජී.එලුයි එයාලව තවනවා. තවලා තව ණය ඉල්ලනවා. මොනවා කතා කලත් අන්තිමට නතර වෙන්නේ ණය වලින්.තව ටික දවසකින් තානාපතිවරු සාකච්ඡාවට එන්නේ තහනම් වචනය ණය කියලා දාලා. ඊළඟට තානාපතිලා ඔහොම තවන්න ගිහින් කොයිවෙලේ හරි ජී.එල් ලෙඩ වෙන්නත් පුළුවන්. කොහොම හරි ආරංචියේ හැටියට නං බැසිල් ඉන්දියාවේ දැඩි කොන්දේසි පිට ඩොලර් බිලියන 1.5ක ණයක් ෂේප් කරගෙන වගේ. බැසිල්ට මෝදි හම්බ වෙන්න අවස්ථාව දීලා නෑ. ඉන්දියාවේ මුදල් ඇමතියි, විදේශ ඇමතියි තමයි හම්බ වෙලා තියෙන්නේ. ආරංචියේ හැටියට ඉන්දීය විදේශ ඇමති නං බැසිල්ට කන පිරෙන්න දීලා. එයාලා කියලා තියෙන්නේ IMF යන්න කියලා. දැන් චීනය පැත්ත හැරෙන්නත් බෑ. චීනා ණයක් දෙන්නං කියන්නේ සංචිතය ශක්තිමත් කරන්නලු. වියදම් කරන්න බෑ කියන කොන්දේසිය දාලලු. ඒකනේ දැන් ඔය තදියන් වෙලා කැබිනට් එකේ කතා කරන්නේ IMF යමුද කියලා. කබ්රාල්ගේ පොල් කට්ටට තවම යමක් වැටුණා කියලා ආරංචියක් නෑ. හැබැයි තවම ඉන්දියන් ණයත් ලැබිලා නෑ. ඒක දැන්ම ලැබෙන්නේ නෑ.හැබැයි අපට ඩොලර් හදිස්සී. ඉතා ඉක්මනින් ඩොලර් ටිකක් ඕනි. අඩුම ගානේ ඩොලර් බිලියන දෙකක්වත්. නැත්නම් බඩු බනිස්.

අර මහ රෑ ඇමරිකන් වවුලෙක් එක්ක හොරෙන් ගහපු යුගදනව් ගිවිසුමත් අනුර පාර්ලිමේන්තුවට එළිකරලා තියෙන්නේ. එක හැන්සාඩ් ගත කරලා තියෙන්නේ. දැන් එතනින් ගන්න තිබුණ ඩොලර් මිලියන 250 එන්නේ නෑ. ඊළඟට ඒකට නඩුවක් යනවා. අනික තමයි මෙච්චර ඉක්මනට තව මොකවත් විකුණන ගන්නත් බෑ. ඊළගට දැන් මේ ආණ්ඩුවට ජාත්‍යන්තර පීඩනය උපරිම තැනට ඇවිල්ලා. ඇමරිකාව හා යුරෝපය අපි සම්බන්ධව බරපතල තීරණ කීපයක් ගන්න ලෑස්ති වෙන බව රටේ රාළට ආරංචියි. ඉන්දියාවේ අගමැති මෝදි බැසිල්ට හම්බ වෙන්න අවස්ථාව නොදුන්නට ඒ අවස්ථාව සම්බන්ධන්ට දීලා කියලා තමයි ආරංච්. සම්බන්ධන් එ අවස්ථාව කල් දාගෙන.සමහරවිට යුරෝපයේ ක්‍රියාමාර්ගය බලලාම මෝදි හම්බ වෙන්න වෙන්න පුළුවන්. ඒක නිසා රාජපක්ෂලා දාපු ගොඩක් සෙල්ලං දැන් එයාලට පාරවලල්ලක් වෙමින් තියෙන්නේ. ඔය තමයි බැසිල් අල්ලගෙන තියෙන දෙපැත්ත ඇවිලෙන විලක්කුවේ එක පැත්තක්.

බැසිල්ට මෙතනදී තව උත්තර දෙකක් තියනවා. එකක් තමයි IMF යන එක. ගිහින් ණය ප්‍රති ව්‍යුහ ගත කර ගණන්න එක. හැබැයි IMF ගිහින් ණය ප්‍රති ව්‍යුහ ගත කර ගත්ත වැඩක් නෑ අපට ඩොලර් ආදායමක් නැත්නම්. ණය ගෙවන්න නැති උනත් රට දුවන්න ඕනි. ඒකට උත්තරයක් නෑ.එතනදී තමයි මෙයාලා ජාතික ආණ්ඩුවක් ගැන හිතන්නේ. රනිල් අගමැති කරපු ජාතික ආණ්ඩුවක් ගැන හිතන්නේ. මොකද රනිල් පොල් කට්ට අරගෙන ලෝකෙ වටේ ගියොත් බැසිල්ට වඩා ලොකු ගානක් හොයා ගන්න පුළුවන්. ඊළඟට මෙයාලට එල්ල වෙලා තියෙන ජාත්‍යන්තර පීඩනයත් යම් තරමකට අඩු වෙනවා. ඕක මෙයාලා හිතන එක උත්තරයක්. ඊළඟට තවත් උත්තරයක් තියනවා. ඔයාලට මතක ඇති ඉතිහාසයේ රාජපක්ෂලාට චෝදනාවක් එල්ල උනා ඩොලර් බිලියන 18 ලෝකේ කොහේ හරි හංගලා තියනවා කියලා. පහුගියදා Pandora Papers වලින් කරපු අනාවරණයකින් නිරූපමායි, තිරු නඩේෂන්යි කරපු අයතා ඉපැයිම් ගැන හෙළිදරව් උනා.

ජනාධිපති මාසයක් ඇතුලත වාර්තාවක් දෙන්න කියලා අල්ලස් එකට නියෝග කලා. හැබැයි ඒ නියෝගය දැන් බල්ලටම ගිහිල්ලා. ඒක නිසා මේ වගේ මුදලක් තව ලෝකේ කොහේ හරි තියෙන්න පුළුවන්. දැන් ඕනි නම් ඒක ගේන්න පුළුවන්.අඩුම ගානේ භාගයක් හරි. රටේ රාළ කියන්නේ ඒක ගේන්න ඕනි විදිහට දැන් රටේ නීති සංශෝධනය කරගෙන තියෙන්නේ. දැන් ඇත්තේ නීතියේ ප්‍රශ්නයක් නෙවෙයි කොන්දේසි ප්‍රශ්නයක් වෙන්න ඕනි.2024 මට දෙනවා නම් ගේනවා වගේ කොන්දේසි. ඕක තමයි මෙයාලට තියෙන අනිත් උත්තරය. විලක්කුවේ අනිත් පැත්ත තමයි ආණ්ඩුව පුපුරණ එක නවත්වා ගැනීම. ඒකට ඉස්සෙල්ලා කරන්න ඕනි ආණ්ඩුව ඇතුළේ තියන අභ්‍යන්තර ගැටුම බේරා ගැනීම. අපි දැක්කා බැසිල් එකටත් අත තිබ්බා.පොහොට්ටුවේ කණ්ඩායම කැදවලා කිව්වා ආණ්ඩුවේ ඉන්න සුළු පක්ෂවලට ගහන්න එපා කියලා. ඇත්තටම බැසිල් එතනදී යෙදුවේ උපක්‍රමයක්.ප්‍රශ්න ටික බේර ගන්න කං ඇතුළ ෂේප් කර ගන්න එක.

නැත්තං ගිලෙන නැවෙන් පනින්න හදන මීයෝ ටික එකට මැරෙමු කියලා ෂේප් කරගන්න එක. වෙන වචන වලින් කියනවා නම් රාජපක්ෂලා වෙනුවෙන් මැරෙමු කියලා ඒයාලත් තියා ගන්න එක. ඇත්තටම මේ වෙලාවේ ශ්‍රීලනිපය තමන්ගේ පාක්ෂිකයා පාවලා දුන්නා. තමන්ට කියලා මොකක් හෝ පෞරුෂයක් තිබුණා නම් ඒක රාජපක්ෂලා ඉදිරියේ පාවලා දුන්නා. ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි අය වැය කතාවෙදි කිව්වේ අපි වගකියන්නේ ජනාධිපතිටයි, අගමැතිටයි විතරයි කියලා.ඊට පස්සේ පාර්ලිමේන්තු ආලින්දයේදී බැසිල් හම්බ වෙලා දුන්න උම්මා එකෙන් පස්සේ දැන් බැසිල්ටත් වග කියනවා. කොටින්ම රාජපක්ෂලා වෙනුවෙන් දයාසිරිලා විමල්ටත් වඩා හොඳට දැන් පන් මල්ල අරන් කඩේ යනවා. ඇත්තටම ශ්‍රීලනිපය තමන්ගේ පෞරුෂය වගේම පාක්ෂිකයාත් රාජපක්ෂලාට පවාදීලා ඉවරයි. ඒක නිසා ඔය ආණ්ඩුවේ තැන තැන ඇහෙන පුංචි පුංචි සද්ධ රටේ රාළ නං ගනන් ගන්නේ නෑ.

එහෙම කොන්දක් තියන අය මේ ආණ්ඩුවේ නං නෑ. ඒක නිසා ආණ්ඩුව පුපුරන්නේ මෙයාලා කියන විදිහට නෙවෙයි. ආණ්ඩුව පුපුරන්නේ රටේ රාළ කියන විදිහට. ඒ කියන්නේ 2022 වසරේ කොතනදී හරි වෙන ජනතා නැගිටීමකින්. එදාට මේ අශිෂ්ඨ ජනාධිපති පුටුවේ ඉදගන්න සිහින මවන අයගෙන් රටේ රාළ ඉල්ලන්නේ මෙච්චරයි. කුහක බල උවමනාව වෙනුවෙන් ආයෙත් මේ රට විනාශ කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක සජිත්ටත්. පාඨළීටත්, අර දැන් ඊළඟ ජනාධිපති කියලා කැම්පේන් කරන තබුත්තේගම වීරයාටත් අදාළයි. තවත් ජනාධිපති සිහින තියෙන ඕනි කෙනෙකුට අදාළයි.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි.ජයවේවා.

 

මීට

රටේ රාළ. (ප්‍රියන්ජිත් විතාරණ)

Social Sharing
නවතම