මම, රියදුරු අංක 092120

මගේ නම කෙන්ට් නර්බන්. නිව්යෝර්ක් නගරයේ රාත්‍රී කාලයේදී කැබ් රියැදුරෙක් විදිහටයි මම සේවය කරන්නෙ. එදත් අනිත් දවස් වගේම සාමාන්‍ය දවසක්. මම මුළු රාත්‍රිය පුරාම වැඩ කරා. තවත් ගමන් වාරයකට ඇණවුමක් ලැබුණම මම එතනට යන්න පිටත් වුණා. මම මට එන්න කියපු ලිපිනයට ගිහින් වාහනයේ නළාව නාද කරා. මිනිත්තු කිහිපයක් බලන් ඉඳලා, ආයෙත් නළාව නාද කරේ ඒ ගෙදරින් කිසිම ප්‍රතිචාරයක් නැති නිසයි. අද දවසෙ මගේ වැඩ මුරයෙ අවසන් ගමන් වාරය මේක නිසා මට හිතුණා මෙතනින් යන්න. ඒත් ආයෙත් කෝකටත් කියලා, මම මගේ වාහනේ, එතන නවත්තලා, දොර ළඟට ගිහින් තට්ටු කරා.

” විනාඩියක් ඉන්න”

දුර්වල සහ වයස්ගත හඬකින් එහෙම කියනවා මට ඇහුණා. ඒ අතරෙ බිම දිගේ යමක් ඇදගෙන යන හඬකුත් මට ඇහුණා.

තවත් සෑහෙන වෙලාවකට පස්සෙ දොර විවෘත වුණා. වයස අනූ ගණන්වල හිටපු, ශරීරයෙන් කුඩා ගැහැණියක්, මගේ ඉස්සරහ හිටගෙන හිටියා. මුද්‍රිත ගවුමක් ඇඳලා, පිල්බොක්ස් කියලා හඳුන්වන කුඩා හිස්වැස්මක් ඇය පැළඳගෙන හිටියෙ හරියට 1940 ගණන්වල චිත්‍රපටියකින් ආපු කෙනෙක් වගෙයි. ඇගේ පසෙකින් තිබුණේ කුඩා නයිලෝන් සූට්කේසයක්. ඇගේ පිටුපසින් මට පෙනුණු නිවස දැක්කම මට හිතුනෙ “අවුරුදු ගණනාවකින් කිසි කෙනෙක් මේ ගෙදරනම් ජීවත් වෙලා නැහැ” කියලයි. ගෘහ භාණ්ඩ හැම එකක්ම රෙදිවලින් ආවරණය කරලා තිබුණා.

බිත්තියක ඔරලෝසුවක්වත්, පොඩි පොඩි සුකුරුත්තම් බඩුභාණ්ඩවත්, කුස්සියේ කිසිම තැනක, මේක ගෙදරක් කියලා හිතෙන විදිහෙ වළඳක්, පිඟානක්වත් තිබුණෙ නැහැ. හැබැයි ගෙදර එක කොණක කාර්ඩ්බෝර්ඩ් පෙට්ටියක් තිබුණා පින්තූර සහ වීදුරු බඩුවලින් පුරවපු.

” මගේ බෑග් එක වාහනේට අරන් යන්න ඔයාට පුළුවන් වෙයිද?” ඇය ඇහුවා. මම ඇගේ සූට්කේස් එක කැබ් එකට අරගෙන ගිහින් ආයෙත් හැරිලා ආවා, ඇයව වාහනේට අරගෙන එන්න. ඇය මගේ අතින් අල්ල ගත්තට පස්සෙ අපි හිමිහිට වාහනේට ඇවිදගෙන ආවා. අපි වාහනේට ඇවිදන් එන මුළු වෙලාවෙම ඇය මට ස්තූති කරා මගේ කරුණාවන්තභාවය වෙනුවෙන්.

“අයියෝ ඒක මහ දෙයක් නෙමෙයි. මම මගේ වාහනේ යන මගීන්ට සලකන්නෙ මගේ අම්මට අනිත් අය සලකන්න ඕනේ කියලා මම හිතන විදිහටයි” කියලා මම ඇයට කිව්වා.

“අනේ ඔයා හරිම හොඳ කොල්ලෙක්” ඇය හෙමින් කිව්වා. අපි වාහනේ ළඟට ආවට පස්සෙ ඇය මට ලිපිනයක් ලියපු කොළ කෑල්ලක් දීලා මගෙන් ඇහුවා “අපිට ටවුම හරහා මෙතනට යන්න පුළුවන්ද?” කියලා.

“මේක හැබැයි කෙටි පාරක්නම් නෙමෙයි” කියලා මම ඉක්මනින්ම ඇයට උත්තර දුන්නා. මොකද ඇත්තටම ඒක දීර්ඝ ගමනක් වෙන බව මම දැනන් හිටියා ඒ පාර තෝරගැනීමෙන්.

“අහ් ඒකට කමක්නැහැ. මට කිසිම හදිස්සියක් නැහැ. මම මේ රෝගී වැඩිගිටියන්ගෙ නිවාසෙට යන ගමන්නෙ ඉන්නෙ. ඉතින් මට කිසිම හදිස්සියක් නැහැ” කියලා ඇය උත්තර දුන්නා.

මම පැති කණ්නාඩියෙන් ඇය දිහා බැලුවා. ඇගේ දෑස් දිළිසෙමින් තිබුණා. ඇය හෙමින්, ඒත් දිගටම කතා කරා.

“මගේ පවුලෙ කවුරුත් ඉතුරුවෙලා නැහැ. ඩොක්ටර් කිව්වා මටත් තව වැඩි කාලයක් ඉතුරු වෙලා නැහැ කියලා.”

මම හිමිහිට මගේ මීටර් එක දිහාවට නැවිලා ඒක ක්‍රියා විරහිත කරලා දැම්මා.

” මම ඔයාව අරගෙන යන්න ඕනේ මොන පාරෙද?” මම හිනාවක් එක්ක ඇයගෙන් ඇහුවා.

ඊළඟට ගෙවුණු පැය දෙක පුරා අපි නගරය හරහා වාහනේ පදවගෙන ආවා. ඇය මට පෙන්නුවා එක්තරා කාලෙක ඇය විදුලි සෝපාන ක්‍රියාකාරිණියක් විදිහට රැකියාව කරපු ගොඩනැගිල්ල. ඒ වගේම ඇයත්, ඇගේ සැමියත් විවාහ වුණු අළුත ජීවත් වුණු ප්‍රදේශයත් ඇය මට පෙන්නුවා. එක ලී බඩු සාප්පුවක් ඉස්සරහ වාහනේ නවත්තන්න කියලා ඇය මට කිව්වා, ඇය තරුණ කාලේ ඒ ගොඩනැගිල්ල බෝල් රූම් ශාලාවක් කියලා. ඇය තරුණ කෙල්ලෙක් විදිහට එතනට නටන්න ගිය හැටි ඇය මතක් කරා.

සමහර වෙලාවල්වල, ඇය සමහර ගොඩනැගිලි මට පෙන්නලා, ඒවා ඉස්සරහින් හෙමින් යමු කියලා කිව්වා. තවත් ගොඩනැගිලි හෝ කුඩා වීදී ඉස්සරහ නවත්තන්න කියලා, ඇය ඒවා දිහා බලාගෙන හිටියා. කිසිම දෙයක් නොකියා ඇය ඔහේ බලාගෙන හිටියා.

ක්ෂිතජ රේඛාවට උඩින් ඉරේ පළවෙනි ආලෝක දහර අපි මත වැටෙනවත් එක්කම ඇය කිව්වා ” මට මහන්සියි, අපි දැන් යමු” කියලා. අපි නිහඬවම ඇය මට දීපු ලිපිනයට ආවා. ඒ ගොඩනැගිල්ල හරියට පෙනුනෙ රෝගී වෙච්ච අයව කෙටි කාලෙකට නවත්තගෙන ප්‍රතිකාර කරන තැනක් වගෙයි. පෝටිකෝව ළඟටම වාහනේ අරගෙන යෑමේ පහසුකම තිබුණ නිසා එතනට යද්දිම උපස්ථායකවරු දෙන්නෙක් එතනට ආවා. එයාලා ලොකු උනන්දුවකින් සහ උත්සහයකින් එයා දිහා බලාගෙන හිටියා. ඇගේ හැම චලනයක් දිහාම ඔවුන් බලාගෙන ඉන්න බව මම දැක්කා. ඔවුන් ඇයගෙ පැමිණීම අපේක්ෂාවෙන් හිටපු බව මට තේරුණා.

මම වාහනේ විවෘත කරලා, ඇගේ සූට්කේසය දොර ළඟට අරගෙන ගියා. ඒ වෙද්දිත් ඔවුන් ඇයව රෝද පුටුවක අසුන් ගන්වලා තිබුණා. ඇය ඇගේ පසුම්බිය අතට අරගෙන මගෙන් ඇහුවා,

” මම ඔයාට කීයක් ගෙවන්න ඕනේද?” කියලා.

“කීයක්වත් නෑ” කියලා මම ඇයට කිව්වා.

“මේක ඔයාගෙ රස්සාව. ඒ නිසා ඔයා සල්ලි ගන්න ඕනේ” ඇය තිර හඬකින් කිව්වා.

“මගේ වාහනේ යන තව මගීන් ඉන්නවා” මම ඇයට උත්තර දුන්නා. ඊටපස්සෙ එක තත්පරයක්වත් හිතන්න වැය නොකර මම පහත් වෙලා ඇයව වැළඳගත්තා. ඇයත් ඉතාම තදින් මාව වැළඳ ගත්තා.

” වයසක ගෑණියෙක්ට ඔයා සතුට මොකක්ද කියලා අත්දකින්න වෙලාවක් දුන්නා. ඔයාට හුඟක් ස්තූතියි. හුඟක්”

මම හෙමිහිට ඇගේ අත අල්ලලා මිරිකුවා. ඒක තමයි මට ඒ වෙලේ කරන්න පුළුවන් වුණේ. ඉන්පස්සෙ තවමත් අඳුරත් එක්කම අපි මත වැටෙමින් තිබුණු උදෑසන ආලෝකය දිහාවට මම ඇවිදගෙන ආවා. මගේ පිටිපස්සෙන් මට ඇහුණා ඒ ගොඩනැගිල්ලෙ දොර වැහෙන සද්දෙ. ජීවිතයක අවසානය සනිටුහන් කරන ශබ්දයක් විදිහටයි මට ඒක ඇහුණෙ.

ඉන්පස්සෙ තවත් මගීන්ව එහා මෙහා ගෙනියන්න ඕන වුණේ නැහැ, මට එදා දවසට. ගමනාන්තයක් ගැන නොහිතා මම ඔහේ වාහනේ පැදගෙන ගියා. දවස පුරාම මම කතා කරේ හරිම අඩුවෙන්. මට කතා කරගන්න පුළුවන් වුණේ නැහැ. මම දිගින් දිගටම කල්පනා කරා ඇයට කේන්තියෙන් ඉන්න හෝ තමන්ගෙ වැඩමුරය අවසන් කරනකන් ඉවසීමක් නැති ‍රියැදුරෙක් ලැබුණා නම් ඇගේ ගමනෙදි මොකක් වෙයිද කියලා? ඒ වගේම මම කල්පනා කරා මම ඒ ගමන බාර නොගෙන හිටියනම් හෝ එක වතාවක් නළාව නාද කරලා පිටත් වෙලා ගියානම් මොකක් වෙන්න තිබුණද කියලා?

එහෙම කල්පනා කරද්දි මට තේරුණා මම හිතනවා කියලා මගේ ජීවිතේ වැදගත් කියලා හිතෙන යමක් කරලා නැති බව. අපි සීමා වෙලා ඉන්නවා අපේ ජීවිත දිග ඇරෙන්නෙ මහා ශ්‍රේෂ්ඨ මොහොතවල් වටා කියලා.

ඒත් මට ඔබට කියන්න උවමනයි, මහා ශ්‍රේෂ්ඨ මොහොතවල් අපිට මුණ ගැහෙන්නේ අපිත් නොදන්නා මොහොතක, අනිත් අය ඉතාම කුඩා කියලා සලකන යමක් විදිහට ආවරණය වෙලයි.

කවුදෝ කියලා තියෙනවලු මිනිස්සුන්ට ඔබ මොනවද කරේ කියලා මතක තියෙන එකක් නැහැ ඒත් ඔබ එයාලට දැනෙන්න සැලැස්සුවෙ මොනවද කියලා මතක තියේවි කියලා. මට ඒක දැන් නිරන්තරයෙන් මතක් වෙනවා.

එදා මට මුණගැහුනු ඒ වයස්ගත ගැහැණිය මට දැන් නිරන්තරයෙන් මතක් කරනවා ජීවිතේ කියන්නෙ අපි බලාපොරොත්තු වෙච්ච සාදය නෙමෙයි වෙන්න පුළුවන් බව. ඒත් අපි මේ ඉන්න ටිකේ, අනිත් අයගෙ අත් අල්ලන් නටන එක වැදගත්.

මේක මට උවමනා වුණු සාදය නොවුණත්, මේ ඇහෙන තාලෙට, අනිත් අයගෙ අත අල්ලන් නටන එක වැදගත්!!!

මම රියදුරු අංක 092120

 

උපුටා ගැනීම: ඈන් මෝසස් 2015 ලියූ සටහනකි

අනුවාදය : ෂෙනූ පෙරේරා

Social Sharing
නවතම විශේෂාංග