ඔමික්‍රෝන් පොකුරු පොකුරු මල් සැනකෙළි නොවෙන්න, නත්තල සමරන්න

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මේ වනවිට ලෝකයේ රටවල් කිහිපයක වේගයෙන් පැතිර යමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේ සිකුරාදා (26) සිදුකළ නවතම නිවේදනය අනුව කොවිඩ් 19 වෙරසයේ නව ප්‍රභේදයක් ලෙස ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුනගෙන තිබේ. එම සංවිධානය පෙන්වා දෙන පරිදි දකුණු අප්‍රිකාවේ සහ ලොව පුරා සිටින පර්යේෂකයන් ඔමික්‍රෝන් පිළිබඳව වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා අධ්‍යයනයන් සිදු කරමින් සිටින අතර එම අධ්‍යයනයන්ට සම්ප්‍රේෂණ හැකියාව, ආසාදනයේ බරපතලකම (රෝග ලක්ෂණ ඇතුළුව), එන්නත්වල ක්‍රියාකාරීත්වය සහ රෝග විනිශ්චය, පරීක්ෂණ සහ ප්‍රතිකාරවල සඵලතාවය පිළිබඳ තක්සේරු කිරීම් ඇතුළත් වේ.

පසුගිය 2 වෙනිදා ජනාධිපති මාධ්‍ය කාර්යාංශයේ දී ‘ඔමික්‍රෝන්’ වෛරසය පිටුදැකීමට රට සූදානම් ද? යන මැයෙන් පැවැත්වූ  මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා ‌සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේ වසංගතය මුල් කාලයට වඩා මේ වනවිට ජෛව සාම්ප්ල පරීක්ෂාව සඳහා අවශ්‍ය කරන සියලු අමුද්‍රවය තමන් වෙත පවතින බවයි. මේ දක්වා කෙරී ඇති පරීක්ෂණවලින් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ආසාදිත කිසිඳු රෝගියෙකු සොයා ගෙන නොමැති බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ දැනට ඔමික්‍රෝන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීම වැළැක්වීමට අවධානම් රටවල සිට පැමිණෙන සංචාරකයන් සඳහා සංචාරක තහනමක් පනවා තිබේ. මේ පිළිබඳ වැඩිදුර අදහස් දක්වමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසූයේ, රටක් ලෙස සිදු කරන ආවේෂණ ක්‍රම අඛණ්ඩව පවත්වාගෙන යන බවත්, නොවැම්බර් 28 දා සිට පැනවූ සංචාරක තහනමට පෙර ගතවූ දින 14 ඇතුලත මෙරටට සංචාරකයන් පැමිණ සිටීද යන්න පිළිබඳව සෞඛ්‍ය අංශ සොයා බලමින් සිටින බවත්ය. පසුගිය 30 දා සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසී ය.
මෙහි සම්ප්‍රේෂණ හැකියාව  (පුද්ගලයාගෙන් පුද්ගලයාට කෙතරම් පහසුවෙන් ව්‍යාප්ත විය හැකිද) පිළිබඳ තවමත් පැහැදිලි දත්ත නැත. මූලික දත්ත අනුව පෙනී යන්නේ ඔමික්‍රෝන් සමඟ නැවත ආසාදනය වීමේ අවදානම වැඩි විය හැකි බවයි. එනම්, මීට පෙර කොවිඩ්-19 වැළඳී ඇති පුද්ගලයින්ට ඔමික්‍රෝන් සමඟ වඩාත් පහසුවෙන් නැවත කොවිඩ් ආසාදනය විය හැක. කෙසේ වෙතත් මෙම ප්‍රභේදය මගින් සිදුවූ එකදු මරණයක් වත් මෙතෙක් වාර්තා වී නැත.

මෙම ප්‍රභේදයෙන් බලපෑමට ලක්වූ දකුණු අප්‍රිකාවේ ප්‍රදේශවල ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර රෝහල්ගත වීමේ ප්‍රතිශතය සමස්තයක් ලෙස වැඩි වෙමින් පවතින නමුත් මෙය ඔමික්‍රෝන් සමඟ ඇති වූ විශේෂිත බලපෑමක්ද යන්න තවමත් පැහැදිලි නැත. මේ නිසා ඩෙල්ටා ප්‍රභේදය ඇතුළුව, COVID-19 හි සෙසු ප්‍රභේදයන්ට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදයේ බරපතලකම තේරුම් ගැනීමට තව කලක් ගතවනු ඇත. අවධානම පිළිබඳ නිවැරදි පුර්ව නිගමනයන් කළ නොහැකි බැවින් මෙය පැතිරීම වැළැක්වීම සැමවිටම ප්‍රධාන වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව මේ වනවිට ලෝකයේ රටවල් 24 ක මෙම නව වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කොට තිබුණි. මෙම වෛරස ප්‍රභේදය මුලින්ම වාර්තා වූ දකුණු අප්‍රිකාවෙන් මේ වන විට රෝගීන් 100කට අධිකව හමුවී ඇති අතර බොට්ස්වානා, ඝානාව, මොසැම්බික්, නයිජීරියාව, බ්‍රසීලය, කැනඩාව සහ යුරෝපා කලාපයේ රටවල් කිහිපයක ද ආසියානු කලාපයේ දකුණු කොරියාව, ජපානය යන රටවල ද මේ වන විට ආසාදිතයින් වාර්තා වී තිබේ.

ජර්මනියේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ එක් පුද්ගලයෙකු මෑතකදී කිසිඳු විදේශීය රටක සංචාරය කර නොමැති අතර එසේ සංචාරය කළ පුද්ගලයකු හා සම්බන්ධතාවයක් ද පවත්වා නොමැති අතර එම පුද්ගලයාට ඔමික්‍රෝන් වයිරසය සම්ප්‍රේෂණය වූ ආකාරය මෙතෙක් හඳුනා ගන්නට ලැබී නොමැත.  මේ අතර, ජපානය සහ ඊශ්‍රායලය නොවැම්බර් 30 සිට සියලුම විදේශික සංචාරකයින්ට සිය රටවලට ඇතුළුවීම තහනම් කිරීමට තීරණය කර තිබේ. ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් මේ වනවිට බූස්ටර් එන්නත ලබාදීම වේගවත් කර ඇති අතර බ්‍රිතාන්‍ය සියලු දෙනාට මුව ආවරණ පැළඳීමට නැවතත් අනිවාර්ය කිරීමට තීරණය කර ඇත. විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ සිට පැමිණෙන සංචාරකයින් වෙත සීමාවන් පැනවීමට බොහෝ රටවල් තීරණය කර තිබේ.

ලංකාව තුළ දැනට කොවිඩ් වෛරස ව්‍යාප්තිය සම්බන්ධව පෙර පනවා තිබූ සෞඛ්‍ය සීමා අහෝසිකර රට සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යමින් තිබෙයි. ඉදිරියේ දී එළඹිමට නියමිත වන්නේ උත්සව සමයකි. ජනතාව කමින් බොමින් එක්රැස්වන ප්‍රීති වන සමයකි. ඩෙල්ටා ව්‍යාප්ති අවදානම පවතින විට එය පාලනයට නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම නිසා “අලුත් අවුරුදු කොරෝනා පොකුරු” නිර්මාණය වූවා අපට මතකය. මෙවරත් අවධානම හමුවේ නිසි ක්‍රියාමාර්ග නොගතහොත් නත්තල් කොරෝනා පොකුරින් ජීවිත කීයක් අහිමි වේ දැයි ගණන් බලනවා හැර කරන්නට වෙන යමක් ඉතිරි නොවනු ඇත.

යශෝධරා වීරසිංහ

Social Sharing
නවතම විශේෂාංග