ආණ්ඩුවේ කොළඹට කිරි ගමට කැකිරි න්‍යාය නිසා ජිවිත රැසක් අහිමි වේ.

අද (23) උදෑසනම අසන්නට ලැබුණේ හදවත කම්පා කරවන සිද්ධියකි. ඒ් ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලම අසල පුද්ගලයින් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් තිබූ පාලම් පාරුවක් අද  උදෑසන 07.30 පමණ අනතුරට පත්වීමය.

මේ ලාරුව පෙරලි යාමෙන් එහි ගමන් කළ පාසල් සිසුන් ඇතුලු ගම්වැසියන් 05 කු මේ වන විට මිය ගොස් ඇති අතර තවත් 07 කු අතුරුදහන් වී ඇත. එමෙන්ම 10 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

මේ වන විටත් ආපදාවට පත් පුද්ගලයින් සොයා නාවික හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇත. ඒ අනුව, මෙම විශේෂ ආපදා සහන මෙහෙයුම සඳහා නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය, මැරීන් බලඝණය, විශේෂ යාත්‍රා බලඝණය සහ කිමිදුම් අංශයෙන් සමන්විත සහන කණ්ඩායම් 08ක් මේ වන විටත් එම අනතුර සිදුවූ ස්ථානයේ මෙහෙයුම් සිදු කරනු ලබයි.

කින්නියා කුරින්ඥන්කර්නි පාලමෙහි සිදුවන අළුත්වැඩියා හේතුවෙන් පුද්ගලයන් ප්‍රවාහනය සඳහා මෙම පාලම් පාරුව භාවිතා කර ඇති අතර, ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව අද උදෑසන මෙම අනතුර සිදුවන විට මෙම පාලම් පාරුවේ පාසල් ළමුන් ඇතුළු පුද්ගලයින් පිරිසක් ගමන්ගත් බවට වාර්තා වී ඇත.

මෙම සිද්ධියත් සමඟ කෝප වු ගම්වැසියන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික් ගේ නිවසට ප්‍රහාරයක් එල්ල කර තිබේ. ගම්වැසියන් චෝදනා කර සිටින්නේ දීර්ඝ කාලයක් පුරා මෙහි පාලම ප්‍රතිසංස්කරණය කිරිම හේතුවෙන් ගම්වැසියන්ට පාලම් පාරුවක් භාවිතා කිරිමට සිදු වු බවය. ඒ නිසා මෙයට දේශපාලඥයින් වගකිව යුතු බවට ඔවුන් චෝදනා කර සිටියි.

දකුණේ සුවපහසු මාර්ග, පාලම් තැනෙද්දි උතුරු නැගෙනහිර ඒ කටයුතු ඉබි ගමනේ සිදු කිරිමත්, වෙනස්කොට සැලකිමත් නිසා මෙම ඛේදජනක සිද්ධිය වු බවට ඔවුන් චෝදනා කර සිටිති.

මෙම අනතුර පිලිබඳ අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසු විට ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසා ඇත්තේ මේ අනතුර පිලිබඳ රජයට දොස් නැඟිම අනුමත නොකරන බවය.

ඔහු කියන පරිදි කින්නියා, කුරන්ජන්කර්නි කලපුව හරහා මගී ප්‍රවාහනය සඳහා පාරුවක් භාවිතා කිරීමට අවසරය ලබා දී ඇත්තේ කින්නිය නගර සභාව මගිනි.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත හානි සිදුවීම පිළිබඳව රජයේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවත්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරනවා. අදාළ පාරුව යෙදීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට කිසිදු සම්බන්ධයක් නැතැයිද අමාත්‍යවරයා කියා ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ එම කලපුව හරහා පාලමක් ඉදිකිරීමට නොහැකි වූ අතර ඒ සඳහා යහපාලන රජය සමයේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුනේ නැහැ. අපේ රජය විසින් එම ජනතාව පත්ව තිබෙන පීඩාවට විසදුමක් ලෙස මෙම පාලමේ ඉදිකිරීම් ආරම්භ කළ බවත් එය කඩිනමින් ඉදිකිරීමට කටයුතු කරනවා. අනාරක්ෂිත ලෙස මෙම පාරුව භාවිතා කිරීමට අදාළ නගර සභාව අනුමැතිය ලබාදීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවුනා. නිවැරදි ප්‍රමීතීන්ට අනුකූලව මාර්ග සංවර්ධන අධිකාරියෙන් කලපුව හරහා මගී ප්‍රවාහන ක්‍රමවේදයක් සැලසීමට ඉදිරියේදී කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

kinniya

kinniya

Social Sharing
නවතම විශේෂාංග