මොල් නියෝජනය කරලා මම පාර්ලිමේන්තු ගියේ නැහැ – රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ

ගොවි ජනතාව වී මෝල් මාෆියාව විසින් මිනිස් පලිහක් ලෙස භාවිතා  කරන බවත් ගොවියාට ඉහල මිලක් ලබා දීමටත් වීමෝල් හිමිකරුවන් පාරිභෝගිකයාව ගසා කෑම තුරන් කිරීම සදහාත් කළ හැකි දේ කරන බව පළාත් පාළන හා පළාත් සභා රාජ්‍ය  අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ  රුපියල් මිලියන 74.10ක වියදමින් කිලෝමීටර් 3.39ක වියදමින් මැදිරිගිරිය උදාරගම විද්‍යාල මාවත සංවර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඊයේ (16)  සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේ ද කීය.

“  වීවලට රුපියල් 65ක පමණ මිලක් ඕන කියලා ගොවීන් කියන කතාව සම්බන්ධයෙන් මම දිගින් දිගටම කතා කරන්න කැමති නෑ. මොකද මේ වී මෝල් මාෆියාව විසින් ගොවි ජනතාව දිගින් දිගටම මිනිස් පලිහක් විදිහට යොදා ගනිමින් කටයුතු කරනවා. මේක සම්බන්ධයෙන් කතා කරාම සමහර අය පෞද්ගලිකව මති මතාන්තර ඇතිවෙන්න පුළුවන්. ඒක නිසා මම දිගින් දිගටම කතා කරන්න කැමති නෑ මේ ගැන.

මම මේක කලින් හදලා පෙන්නුවේ කීරි සම්බා නම් රුපියල් 90 ට ගත්තොත් රුපියල් 90 වැඩි කිරීම 1.7 එතකොට කුඩු ටිකෙන් සුණු සහල් ටිකෙන් තවත් රුපියල් 10ක් එනවා. එතකොට සහල් විකිනීමට හැකියාව තියෙනවා රුපියල් 160 ට. හැබැයි ගියේ 230 ට. ඒවගේම නාඩු කිලෝවට ගත්තාම රුපියල් 100ක් විතර තමයි නිෂ්පාදන වියදම සියල්ල ගණනය කරාම ලැබෙන්නේ. රුපියල් 60 ට ගත්තත්.අපි කියන්නේ ගොවියට ඉහළම මිලක් දෙන්න කියලා. හැබැයි ඒ කිලෝ එක රුපියල් 130 ට යනකොට පාරිභෝගිකය දැඩි අසීරුතාවකට මුහුණ දෙනවා.

මම ගොවි ජනතාව නියෝජනය කරන ගොවි පුතෙක් විදිහට මගේ සීයා 1948 පොලොන්නරුවට ආවේ පොලොන්නරුවේ සංවර්ධනයේ මුල් යුගයේ. දෙවන ලෝක යුද්ධයට එරෙහිව සටන් කරපු නායකයෙක් විදිහට. ඒ නිසා ගොවි දෙමව්පියන්ගේ කැක්කුම හොදට තියෙනවා. ඒ නිසා ගොවියාට ඉහළම මිලක් ලැබිය යුතුයි. පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලැබෙන්න ඕන. මේ වී මෝල් හිමිකරුවෝ කරන ගසාකෑම නතර වෙන්න ඕන. ඒක තමයි මට කියන්න තියෙන්නේ.ම

ම නම් මුදලට යටවෙන්නේ නෑ. අද සමහර වෙලාවට අපි දකිනවා පොලොන්නරුවේම ගොවිජනතාවගේ පුත්තු එහෙම නැත්තං ගොවිසංවිධාන යැයි කියා ගන්නා අය කීයක් හරි ලැබුණාම තමන්ගේ ආත්මය පාවා දීලා කටයුතු කරනවා. ඒ අසාධාරණ විදිහට මුදල් හම්බකරන වීමෝල්කරුවන්ගේ මුදල්වලින් සමාජ මාධ්‍ය තුළ මට ප්‍රහාර එල්ල කරනවා. ඒවට මම බය නෑ. මම කරන ව්‍යාපාරයයි දේශපාලනයයි වෙන වෙනම තේරුම් ගන්න. මම ව්‍යාපාරයයි දේශපාලනයයි පටලවාගෙන නෑ. මම මෝල් නියෝජනය කරලා නෙමෙයි පාර් ලිමේන්තු ගියේ ගොවි ජනතාව නියෝජනය කරලා. ඒ නිසා කවුරු මොන බාධක දැම්මත් මම යහපාලන ආණ්ඩුව පෙරලන්න ක්‍රියා කළා වගේ ගොවි ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා. 2018 පළාත් පාළන මැතිවරණයේ දී මෝල් කාරයෝ හිටියේ නෑනෙ. එදාත් ජනතාව අපි එක්ක හිට ගත්තා.” යැයි ද පැවසීය.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Social Sharing
නවතම