අමාරු කාල වලදි හදිසි නීතිය ඉදිරියට දමා ආණ්ඩුව ගැලවී යනවා – නීතිඥ කේ.ඩබ්.ජනරංජන

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පවා නොතකා හරිමින් කටයුතු කරන බවත් මේ පිලිබඳව ඔවුන් ලැජ්ජා විය යුතු බවද මාධ්‍යවේදී, නීතිඥ  කේ.ඩබ්. ජනරංජන මහතා පවසයි.

හදිසි නීතියට බැරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යාමට පමණක් බවත් අනෙක් සියලු දේ ජනාධිපතිවරයාට හිමි වන බවත් පවසන ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට සිතෙන දේ ගැසට් කිරිම පමණක් කිරිම ප්‍රමාණවත් බවත් එතැන් සිට එයද නීතියක් සේ ක්‍රියාත්මක විය හැකි බවත් එතරම්ම මේ හදිසි නීතිය බලවත් බවය.

ජනාධිපතිවරයා පනවන හදිසි නීතිය දින 10 කින් පාර්ලිමේන්තුවේ අනුමත කරගෙන එය මාසයක් දක්වා පවත්වාගෙන යාමේ හැකියාවක් ඇති බව පෙන්වා දෙන ඔහු පවසන්නේ 2/3 ක බලයක් හිමි ඔහුට හදිසි නීතියක් කුමටද කියාය.

ආණ්ඩුව අමාරු කාල වලදී හදිසි නීතිය ඉදිරියට දමා ගැලවී යන බවත් විශේෂයෙන් ඒකාධිපතියන් මුලින්ම කරන්නේ ජනතාවට උදව් කරන බවට  ව්‍යාජ චිත්‍රයක් මවන බව ද මෙයට සමාජ අනුමැතිය හිමි වෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

හදිසි නීතියෙන් අවදානමක්/ බලපෑමක් ඇති වේ යැයි සිතන්නේ අප වැනි පිරිසක් පමණක් බවත් සමාජයේ අනෙක් අය හිතන්නේ ජනාධිපතිවරයා තමන්ව වෙළඳ මාෆියාවෙන් බේරා ගැනීමට හදිසි නීතිය ගෙන ආ බව ඔහු පවසයි.

සීනී / සහල් හිඟයට ඇත්තෙන්ම හදිසි නීතිය භාවිතා නොකළ බවත් මෙය ව්‍යාජ මවා පෑමක් පමණක් බවත් ඔහු අවධාරණය කර සිටියි.

සීනි මිල ඉහළ ගියේ සිනී හිඟයක් නිසා නොවන නමුත් ආණ්ඩුවට අවශ්‍ය වුයේ ව්‍යාජ හිඟයක් මවා පෑමට බවත් ඒ් අනුව ආණ්ඩුවේ මාධ්‍ය නාලිකා වල උකුස්සෝ ගොස් සීනි සඟවා ඇති තැන් ඇල්ලු අතර ජනතාව මෙහිදි සිතුවේ සඟවපු සීනි නිසා සීනි මිල ඉහල ගොස් ඇති නිසා බව නීතිඥ ජනරංජන මහතා පෙන්වා දෙයි.

සහල් මිල ඉහළ ගියේ සහල් හිඟයක් නිසා නොවන නමුත් ආණ්ඩුව මෙහිදි උත්සහ ගත්තේ මෙරට ප්‍රධාන සහල් නිෂ්පාදකයින්ගෙන් අඩු මිලට සහල් සතොසට ලබා ගැනීම බවත් නමුත් පසුව ප්‍රධාන සහල් නිෂ්පාදකයින් ඊට එකඟ නොවීම නිසා ඒ සහල් මෝල් වටලන බව මවා පෑ බවද ඔහු කියා සිටියි.

එකී සහල් ව්‍යාපාරිකයින් සතොසට සහල් දීමට මැලි වුයේ කලින් ගත් සහල් වලට තවම මුදල් ගෙවා නොමැති නිසා බව පෙන්වා දෙන ඒ් මහතා පවසන්නේ හදිසි නීතිය යටතේ වුවද ඒ් සහල් මෝල් වැටලුවේ නැති බවත් ගොස් සහල් ඉල්ලා සිටියා පමණි බවය.

දැනට මේ හදිසි නීතියෙන් මාධ්‍ය නිදහසට බලපෑමක් මතුව නොතිබුණත් ඉදිරියේදි එය මතු වීමේ හැකියාවක් ඇතැයිද අවධාරණය කරන ඔහු කියා සිටින්නේ මේ හදිසි නීතිය ඉවත් කර ගැනීම වෙනුවෙන් සියලු බලවේග ඒකරාශි විය යුතු බවය.

නීතිඥ ජනරංජන මහතා මේ බව කියා සිටියේ ඊයේ (16) දින අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් සංවිධානය කර තිබු කොවිඩ් වලට නොදෙවෙනි හදිසි නීතිය යන මැයෙන් පැවති සාකච්ඡාවේදීය.

ශානි

 

Social Sharing
නවතම