හදිසී නීතිය වහා ඉවත් කළ යුතුයි – ආචාර්ය දීපිකා උඩගම

ජන ජිවිතයට සාධාරණයක් ඉටු කිරීමට  නම් වහාම මේ පනවා ඇති හදිසි නීතිය ඉවත් ඉවත් කළ යුතු බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපතිනි, ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පවසයි.

1947 දී දේශීය දේශපාලඥයින්ගේ උවමනාව මත මහජන ආරක්ෂක පනත පැන වු බව පෙන්වා දෙන ඇය සිහිපත් කර සිටින්නේ 1971 කැරැල්ලෙන් පසුව 1972 ජනරජ ආණ්ඩුව විසින් මහජන ආරක්ෂා පනත භාවිතා කළ බවය.

1977 රජය වෙනස් වීමෙන් පසුවද මෙය පැවතුණ බව පවසන ඇය කියා සිටින්නේ විධායකයට මෙම මහජන ආරක්ෂා පනත භාවිතා කිරිම පුරුද්දක් බවට පත් වු බවය.

ඒ් අනුව 1971 සිට 2011 දක්වා අවුරුදු 40 ක කාලය පුරාවටම මේ රටේ හදිසි නීතිය පැවතුන බවත් ඒ් අතර සාමාන්‍ය නීතිය තිබුණේ ඉතාම කෙටි කාලයක් බවද ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පෙන්වා දෙයි.

මේ හදිසි නීතිය තුලින් ප්‍රජාතන්තවාදයක සංවරණ හා තුලනය නැති වී යන අතර මෙයින් විධායකයට අසීමිත බලතල පැවරෙන බවත් ලංකාවේ හදිසි නීති රෙගුලාසි අනුව මේවා අධිකරණයට ප්‍රශ්න කළ නොහැකි බවද ඇය කියා සිටියි.

නමුත් ජාත්‍යන්තරයේ පනවන හදිසි නීති රෙගුලාසි වල මෙවන් තත්ත්වයක් නොමැති බවද ඇය පෙන්වා දෙයි.

නමුත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ රෙගුලාසි වලින් ඇති හදිසි නීතිය තුලින් මානව හිමිකම් වලට බලපෑමක් සිදු වන විට අතීතියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැදගත් තීන්දු ලබා දී ඇති බවද ලූකස් පෙරේරා නඩුව එවන් නඩුවක් බවද සිහිපත් කරන ඇය පවසන්නේ ජනතාවට ඇති එකම ආරක්ෂාව එය බවය.

ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට කියා පහුගිය අගොස්තු 30 දා පැනවු හදිසි නීතිය මවිතයට කරුණක් බව ද ඇය පවසයි.

මන්ද ආහාර සම්බන්ධව, අත්‍යවශ්‍ය සේවා සම්බන්ධව සාමාන්‍ය නීතිය යටතේ ඔ්නෑ තරම් නීති තිබියදී මෙලෙස හදිසි නීතිය පැනවීමට තරම් මහජන ආරක්ෂාවට බලපා ඇත්තේ කුමක්දැයි යන ගැටලුව පවතින බව දීපිකා උඩගම මහත්මිය අවධාරණය කරයි.

මේ හදිසි නීිය පැනවීම සාධාරණිකරණය කළ නොහැකි බවත් මෙය විධායකයට පුද්රුද්දක් බවට පත්ව ඇතැයිද වහාම මෙය ඉවත් කිරිමට පාර්ලිමේන්තුවට මෙය තවදුරටත් දීර්ඝ නොකළ යුතුයි කියන තැනට කරුණු ඉදිරිපත් කළ යුතුව ඇතැයි ඇය කියා සිටියි.

එමෙන්ම අද සෑම විටම හමුදා නිලධාරීන් පත් කිරිම අලුත්ම රටාවක් බවත් සිවිල් පරිපාලනය දැන් මේ රට හඳුනන්නේ නැති තරම් බවද පෙන්වා දෙන ඇය පවසන්නේ පාලනයේ ඇති දුර්වලතා නිසා සමාන්‍ය නීතියෙන් මිදී හදිසී නීතියට යන බවය.

අචාර්යවරිය මේ බව කියා සිටියේ හදිසි නීතියේ බලපෑම යන මැයෙන් ඊයේ (11) දින සුම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදීය. මෙය තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබුණි.

ශානි

 

 

Social Sharing
නවතම