ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසි දිනෙක විනාශ කළ නොහැකියි – හිටපු ජනාධිපතිනිය

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසි දිනෙක විනාශ කළ නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නම් මහා වෘක්ෂය කපා බිඳ දමන්න හැදුවත් එය කෙසේ හෝ යළි ලියැලෙමින් ගොඩනැඟී මහා වෘක්ෂයක් බවට පත් වෙනු ඇති බවත් එදිනට තමන් ජිවතුන් අතර නොසිටිනු ඇතැයිද ඇය කියා සිටියි.

මේ වන විටත් කුඩාවට ලියැලෙමින් සිටින මේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නම් වු ගස මහා ගසක් බවට පත් වීම කිසිවෙකුට වැලැක්විය නොහැකි බවද ඇය අවධාරණය කර සිටියි.

අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අත් වී ඇති ඉරණම දෙස බැලීමේදි විශාල කණගාටුවක් ඇති වන බවත් ඇතැම් අවස්ථා වල තමන්ද මීට වගකිව යුතු යැයි සිතෙනවා යැයිද හිටපු ජනාධිපතිනිය පවසයි .

තමන්ගේ උපතේ සිට මේ දක්වාම ජිවිතය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ බැඳී පවතින බවත් ඒ් හා සමානවම කැපවීම් තමන් පක්ෂ්‍ය වෙනුවෙන් සිදු කර ඇතැයිද ඇය සිහිපත් කර සිටියි.

සිය පියා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බිහිකළ අතර සිය මව පක්ෂය ශක්තිමත් කළ බවත් තමන් එතැන් සිට පක්ෂය ඉදිරියට ගෙන ආ බවත් අවුරුදු 14 ක් පුරා ගුටි කකා පැරදි පැරදී සිටි පක්ෂය 1994 දී බලයට ගෙන ඒ්මට තමන් ඉමහත් වෙහෙසක් දැරූ බවද පෙන්වා දෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නේ අඛණ්ඩව වසර 23 ක් බලයේ සිටීමට හැකි වු බවය.

දේශපාලනයෙන් ඉවත්ව ගොස් සිටි තමන් 2015 දී යළි පැමිණියේ රටට හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සිදුව ඇති දේ දැකීමෙන් පසුව බවත් සෝභිත හිමියන් ඇතුලු විශාල සිවිල් සමාජ බලවේගයෙන් යළි පක්ෂය ගොඩනැඟීමේ සිහිනයෙන් වුවත් එය තනිකරම කඩා බිඳ දැමු බවත් සිහිපත් කරන ඇය පෙන්වා දෙන්නේ මේ සියල්ල කළේ එක පුද්ගලයෙක් බවය.

70 වෙනි සංවත්සරය සමරන අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාමත් දුර්වල තත්ත්වයට පත්ව තිබෙන බවද  වත්මන් පක්ෂ නායකයන් විසින් අප ආදරණීය පක්ෂයට සිදු කර තිබෙන විනාශය දෙස ඉතාමත් වේදනාවෙන් බලා සිටිමින්, සැබෑ බණඩාරනායක ප්‍රතිපත්ති සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණයෙන් පක්ෂය බේරාගෙන, ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට නායකත්වය ගන්නා මෙන් දිවයින පුරා විසිරී සිටින සියලුම සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට ඇය වැඩිදුරටත් ආරාධනා කර සිටියි.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ අදට (02) යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ වන සංවත්සරය  වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ශානි

Social Sharing
නවතම