ස්පුට්නික් V පළමු මාත්‍රාවට මාස තුනක්, දෙවැනි මාත්‍රාව කෝ?

කොවිඩ් මර්දන එන්නත ලෙස ප්‍රථම වරට මෙරටට ලැබුණේ ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂිල්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතය. ඒ් එන්නත ලබාගත් පිරිසට දෙවැනි එන්නත ලබා ගැනීමට මාස 06 ක් පමණ බලා සිටීමට සිදු වු අයුරු අපට මතකය.

මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත ලංකාවට පැමිණි පසු එය ලබා දුන්නේ මහනුවර දිස්ත්‍රික්කයට හා කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව ප්‍රදේශයටය.

ස්පුට්නික් V එන්නත් 150 000 කට ආසන්න පිරිසක් සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ දී එන්නත්කරණය සිදු කළ අතර  එම පිරිසට මහනුවර දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා කාර්යාලගත නිලධාරීන් ද ඇතුළත් විය.

ඔවුන් ස්පුට්නික් V එන්නත ලබාගෙන දැන් මාස තුනක් පමණ ගත වුවද එහි දෙවැනි මාත්‍රාවක් තවමත් ලැබී නොමැති බවට මැසිවිලි නගමින් සිටියි.

මේ සම්බන්ධව සංවර්ධන නිලධාරී සේවා සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් කියා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින් සඳහා ස්පුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාව නොලැබීම නිසා Covid-19 නිරෝධායන පවුල් වෙත භාණ්ඩ මලූ රැගෙන යෑම හා  Covid රාජකාරීවල යෙදීම අවධානම්ව සිටින බැවින් කඩිනමින් ස්පුට්නික් දෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට කටයුතු කරන ලෙසටය.

Covid-19 වෛරසය හා එහි නව ප්‍රභේද ගණනාවක් රටපුරා සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බව මෙරට සෞඛ්‍ය අංශ බලධාරීන් තොරතුරු අනාවරණය කර ඇත. එවන් වටපිටාවක රටේ ජනතාව මාරාන්තික වෛරසයෙන් බේරාගැනීමට කල හැකි එකම ආරක්ෂිත පියවර එන්නත්කරණය බවට මේ වනවිට ආණ්ඩුව පිළිගෙන ඇති අතර අදාළ එන්නත් මාත්‍රා 02 ම ජනතාවට ලබාදීම ආණ්ඩුවේ වගකීම බව එම ලිපියෙන් පෙන්වා දී ඇත.

ඒ අනුව නුවර දිස්ත්‍රික්කයේ ඉහත එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් රාජ්‍ය සේවකයින්ට අදාළ එන්නතේ 02 වන මාත්‍රාව ලැබී නැති බවත් ඒ අනුව ඔවුන්ට මහජනතාව හා සම්බන්ධවෙමින් රාජකාරීවල යෙදීම පිළිබඳ අවධානම් තත්වයක් උද්ගතව ඇතැයිද ඒ් නිසා ඉදිරියට එම රාජකාරි වලින් ඉවත් වීම කෙරෛහිද අවධානය යොමු කර ඇතැයි එම ලිපියෙන් වැඩිදුරටත් කියා ඇත.

මේ අතර ස්පුට්නික් V එන්නතේ දෙවැනි මාත්‍රාව ලෙස යොදා ගත හැකි  එන්නත් මාත්‍රා 15,000 ක් අද (31)  අලුයම මෙරටට රැගෙනවිත් ඇත.  ඒ, ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකිනි.

ශානි

Social Sharing
නවතම