මතුගම පොලිසියේ පහර දීමෙන් මගේ සැමියා මිය ගියේ – පොලිස් අත්අඩංගුවේදි මිය ගිය සැකකරුගේ බිරිඳ කියයි!

මතුගම පොලිස් අත්අඩංගුවේ සිටි සැමියාට පොලිස් නිලධාරීන් විසින් පහර දුන් බව මතුගම පොලිස් අත්අඩංගුවේදී   මිය ගිය සැකකරුගේ බිරිඳ විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර ඇත.

එමෙන්ම මේ බව ජාතික පොලිස් කොමිෂන් සභාව, ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා නීතිපතිවරයා වෙතද ලිඛිතව දන්වා යවා ඇත.

මතුගම පොලිසිය විසින් ඉකුත් 22 දා අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හදිසියේම අසනීප වී මිය ගොස් තිබුණි. එලෙස මිය ගොස් තිබුණේ යටදොලවත්ත, මතුගම පදිංචිව සිටි බෙල්ලන විතානගේ සාලිය ධනුක නම් 40 හැවිරිදි පුද්ගලයෙකි. මොහු තිදරු පියෙක් වන අතර වෘත්තියෙන් දර විකිණිම සිදු කරනු ලබයි.

මෙම සැකකරුගේ බිරිඳ වන කේ. රේණුකා විසින් පවසා සිටින්නේ පහුගිය 22 දා දහවල් 1.30 ට පමණ බුලත් විටක් ගැනීම සඳහා ස්වාමියා නිවෙස අසල කඩයකට ගිය බවත් මද වේලාවකින් ඔහු කෑ ගසනු ඇසුන බවත්ය. ඔහුගේ කෑ ගැසීමට ඇය  දිව යන විට පුද්ගලයින් දෙදෙනෙක් සිය සැමියාට කොසු මිටකින් හා තවත් පොල්ලකින් පහර දෙමින් සිටි බවත් පසුව මාංචු දමා අසල තිබු ත්‍රිරෝද රථයකට දමා ගත් බවද ඇය පවසයි.

එය මතුගම පොලිසියේ ත්‍රිරෝද රථය බවට ඇය හඳුනාගත් බවත් නිල ඇඳුමෙන් රියදුරු අසුනේ සිටි නිලධාරියාගෙන් සැමියා ගෙනියන්නේ ඇයිදැයි විමසු විට නිරෝධායන නීති කඩ කළ නිසා බව ඔහු පැවසු බවද ඇය ලිඛිත පැමිණිල්ලෙන් කියා ඇත.

එදින පස්වරු 2.30 ට පමණ මතුගම පොලිසියට යන විට ඇය දැක ඇත්තේ සැමියාට පහර දුන් නිලධාරින් දෙදෙනා හා තවත් නිලධාරින් සිව් දෙනෙකු රෙද්දකින් වැසු පුද්ගලයෙකු ඔසවාගෙන ජිප් රථයට දමාගෙන පිටව යන අයුරුය. ඇය පොලිස් ස්ථානයේ රිසව් නිලධාරියා ළඟට ගොස් සිය සැමියා පිලිබඳ විමසා ඇති අතර එහිදි ඔහු පවසා ඇත්තේ ඔහු අසනීප වී රෝහලට රැගෙන ගිය බවය. ඇය මේ පිලිබඳ ස්ථානාධිපතිවරයාගෙන් විමසු විට ඔහු පවසා ඇත්තේ එයාට හෘදයාබාදයක් සෑදුන නිසා රෝහල් ගත කළ බවත් ජිවිතය පවා විශ්වාස නැති බවය.

එහිදී ඇය කෑ ගසා හඬමින් පවසා ඇත්තේ දරුවෝ තුන් දෙනා එක්ක ජිවත් වෙන්නේ කෙසේද? කුඩා දරුවාගේ පපුවේ හිලක්. ඒ්කට බෙහෙත් වලට ගොඩක් වියදම් යනවා. ඉන්න ගෙයක් නැහැ. මාස 04 කින් කුලිය ගෙවලා නැහැ යනුවෙනි.

අපි ඔයාට ගෙයක් හදලා දෙන්නම්, මරණ වැඩ ටිකත් කරලා දෙන්නම් යැයි ස්ථානාධිපතිවරයා පැවසු බව ඇය කියා සිටියි.

අසල්වැසි කාන්තාවක්ද සමඟින් ඇය වෑත්තෑව රෝහලට  යන විට ට්‍රොලියක සිය සැමියාව දමා තිබු බවත් මුහුණ ඉදිමී ලේ තිබුණු බව ඇය ප්‍රකාශ කර සිටියි. ඒ් අසල සිටි හෙදියන් දෙදෙනෙකු ඇයට පවසා ඇත්තේ ගේනකොටත් මෙයා නැති වෙලා. පොලිසිය තමා වගකියන්න ඔනේ යනුවෙන්ය.

රෝහලේදී මිනිය කපන්නේ නැතුව භාර ගන්නා ලෙස ස්ථානාධිපතිවරයා ඉල්ලා සිටි බවත් ඊට එකඟ නොවු විට ඔහු සැරපරුෂ ලෙස කථා කළ බවද ඇය සිය පැමිණිල්ලෙන් කියා ඇත.

ඇය මෙයින් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මෙම මරණය සම්බන්ධ විමර්ශන මතුගම පොලිසියෙන් ඉවත් කර වෙනත් කණ්ඩායමකට භාර දෙන ලෙස හා සැමියාගේ ඝාතනයට වගකිව යුතු නිලධාරින්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසටය.

ශානි

Social Sharing
නවතම