අසාද් සාලි නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත් වේ.

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන්  විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස්  ඉවත්ව තිබේ.

පෞද්ගලික හේතුවක් මත තමා පෙත්සම් විභාගයෙන් ඉවත්වන බව නවාස් විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ අසාද් සාලිගේ මුලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ  [10] කැඳවූ අවස්තාවේදීය.

අදාළ පෙත්සම විභාග කෙරෙන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල මුර්දු ප්‍රනාන්දු, ඇස්.තුරෙයිරාජා හා ඒ.එච්.එම්.ඩි.නවාස් විනිසුරුවන්ගෙන් සමන්විත විය.

නවාස් විනිසුරු ඉන් ඉවත් වන බව දැනුම් දීමත් සමග පෙත්සම් විභාගය වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 27 වැනිදා කැඳවීමට දින නියම කෙරිණි.

නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීරණය කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි  ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස  නීතිපති , පොලිස්පති , රහස් පොලිස් අධ්‍යක්ෂක නිෂාන්ත ද සොයිසා , එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල , මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර , එම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්  නම් කර තිබේ.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ම අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීති විරෝධී යැයි තීන්දු කර තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අසාද් සාලි මෙම  පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටි.

වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කරුණු ඉදිරිපත් කරමින්  කියා සිටියේ 2021 මාර්තු මස 09 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව කොළඹ මහාධිකරණ හමුවේ පවරා ඇති නඩුවට අදාල අධිචෝදනා වල පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් , එම පිටපත් මෝසමක් මගින් සතියක් තුළ දී ගොනු කරන බව

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ  අධිචෝදනා ගොනු කර, එම නඩු පැවරීම සිදු කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ද අධිකරණය හමුවේ ප්‍රකාශ කලේය.

ඉකුත් මාර්තු 09 වැනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ කටයුතු මුස්ලිම් නීතියට  අනුව සිදුවිය යුතුයැයි  අවධානය යොමු කරවීම  මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් පසු විවිධ පුද්ගලයින් ඒ  ගැන  විවිධ අදහස් දක්වන ලද බවත්, මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා , තමා  පිළිබදව ද්වේශ සහගතව ප්‍රකාශ කිහිපයක්ද සිදු කල බව පෙත්සම මගින් පෙන්වා දෙන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ  තමා කිසිදු ආකාරයකින් පාස්කු ඉරැදින ප්‍රහාරයට හෝ  මාවනැල්ල බුදු පිළිම කඩා බිද දැමීමට  සම්බන්ධ නොමැතිබවය. ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා පෙත්සම් කරු වෙනුවෙන් පෙනී සිටීයි.

Social Sharing
නවතම