සෞභාග්‍යයේ දැක්ම උල්ලංඝනය කළ ඉඩම් අමාත්‍යාංශය …

ඉඩම් අමාත්‍යංශ ලේකම් නිකුත් කර ඇති චක්‍රලේඛයක්  මගින් ජනාධිපති ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ උල්ලංඝණය කර ඇත.

‘ රජයේ ඉඩම් මැන වෙන් කිරීම’ සඳහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති චක්‍ර ලේඛය මගින්  දක්වා ඇත්තේ  රජයේ ඉඩම් විවිධ කාර්යන් සඳහා මැන සංවර්ධන හා ගම් පුළුල් කිරීම හා අනාගත සංවර්ධන කටයුතු සඳහා ආරක්ෂා කිරීමට ඉඩම් මැනීම් හඳුනා ගැනීමට ක්‍රියා කරන ලෙසය.

මෙම චක්‍රලේඛය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පමණක් නොව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, හා  වනජීවී හා වන සංරක්ෂණ ආඥා පනත ද  උල්ලංඝණය කරන බව නිවේදනයක් නිකුත් කරන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙයි.

ඉකුත් ජනාධිපතිවරණයේදී  ගෝඨාභය රාජපක්ෂ ‘ සෞභාගයේ දැක්ම’ නම් සිය ප්‍රතිපත්ති  ප්‍රකාශණයේ අට වන පරිච්ඡේදයේ දැක්වෙන ‘තිරසර පරිසර ප්‍රතිපත්තියක්’ කොටසෙහි සඳහන් කර ඇත්තේ ‘ජාතික වන වැස්ම 30% ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත්, ස්වාභාවික පරිසර පද්ධති සංරක්ෂණය කරන අතර හානියට ලක් වූ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කරන බවත්, මිනිසා මෙන් ම අනෙක් සත්ත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කරන බවය’

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හය වන වගන්තිය අනුව ‘ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු ය’’. ඒ වෙනුවට ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර්. ඒ. ඒ. කේ. රණවක විසින් මෙම චක්‍රලේඛය මගින් සිදු කර ඇත්තේ වනාන්තර  විනාශ කොට ජනතාවගේ යහපැවැත්ම සම්පූර්ණයෙන් ම බිඳ දැමීමට කටයුතු කිරීම යැයි  පෙන්වා දෙන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නිවේදනයේ  වැඩි දුරටත් දැක්වෙන්නේ  රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර නොමැති රජයට අයත් බොහෝ වනාන්තර ප්‍රදේශ වැව් හා ජලාශවල ජල පෝෂක ප්‍රදේශ  පමණක් නොව මෙම වනාන්තර රක්ෂිත ප්‍රදේශ අතර සම්බන්ධතාවය ඇති කරන අලි – ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථාන වන බවය.

“ඉඩම් අමාත්‍යංශ ලේකම් වරයාගේ චක්‍රලේඛය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, වන ජීවි හා වන සංරක්ෂණ අඥා පනත,උල්ලංඝණය කරමින් , මෙරට ඉතිරිව පවතින සියයට 12 ක් වන  වනාන්තර ප්‍රමාණයද  විනාශ කර දමා   අලි -මිනිස් ගැටුම් වර්ධනයට රුකුල් දෙනවා” යැයි  ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසයි.

චක්‍රලේඛය අහෝසි කොට ඊට විසදුම් ලෙස ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම යෝජනා කරන එම ව්‍යාපාරය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට  අනුව වාර්ගික  නොව තාක්ෂණික පදනමින්  පිහිටුවිය යුතු දැනට තිස්හතර වසරක් පමා කර තිබෙන  ජාතික ඉඩම් කොමිෂන් සභාව වහා පිහිටුවීමේ වැදගත්කම පෙන්වා දෙයි.

Social Sharing
නවතම