RTI කොමිසමට සිවිල් සමාජ සාමාජිකයින් රැසකගේ නම් ඉදිරිපත් වේ.

RTI කොමිසමේ නව සාමාජිකයින් පත් කිරීම  ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) මේ වන විට අවධානය යොමු කොට ඇත.

වත්මන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ (RTI කොමිසම) සේවා කාලය එළඹෙන සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව ඇත. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි 11 වන වගන්තිය ප්‍රකාරව RTI කොමිසම පිහිටුවන අතර මෙය වසර පහක ධූර කාලයකට යටත් වේ. සභාපතිවරයෙකුගෙන් සහ සාමාජිකයන් සිවු දෙනෙකුගෙන් සමන්විත වන තොරතුරු කොමිසම පත්කිරීම, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර සිදු කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මතය.

කෙසේ වුවද,20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙම පත්කිරීමේ ක්‍රමවේදය මඳ වෙනසකට ලක් විය. ඒ් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාව ස්ථාපිත කිරීම හේතුවෙනි. මෙම පත් කිරීම් සම්බන්ධව පාර්ලිමේන්තු සභාවේ කාර්යභාරය වන්නේ පනතේ නියම කර ඇති ආකාරයට නාම යෝජනා ලබා දීමට හැකියාව ඇති සිවිල් සමාජ සංවිධාන, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජනමාධ්‍ය සංවිධාන වලින් ලබා ගන්නා වූ නාම යෝජනා පිළිබඳ නිරීක්ෂණ ජනාධිපතිවරයාට ලබා දීමය.

ජනාධිපතිවරයා විසින් එකී පත්කිරීම් සිදු කිරීමේදී පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ ඉල්ලා සිටීම අනිවාර්ය කාර්යභාරයකි.

ඒ් අනුව නව කොමිෂන් සභා සාමාජිකයන් / කොමසාරිස්වරුන් පත් කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි (RTI Act) සඳහන් කාර්යය පටිපාටිය අනුවම සිදු කරනු ඇති බවට අපෙක්ෂා කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) පවසයි.

RTI පනතෙහි සඳහන් වන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය දිගින් දිගටම පවත්වාගනිමින්, ජනාධිපතිවරයා විසින් අදාළ කණ්ඩායම් හරහා ලැබෙන්නා වූ නාමයෝජනා දැඩි සැලකිල්ලකට භාජනය කරනු ඇතැයි එම ආයතනය බලාපොරොත්තු වේ.

කොමිසම සඳහා සාමාජිකයන් නම් කිරීමේ සිවිල් සමාජ සංවිධාන කාර්යභාරය වෙනුවෙන් එක් වන ලෙස TISL ආයතනය පසුගියදා සිවිල් සමාජ සංවිධාන වෙත ඇරයුම් කළ අතර TISL ආයතනය ඇතුළුව අනෙකුත් සිවිල් සමාජ සංවිධාන විසින් යෝජනා කරන ලද නාමයෝජනා ලැයිස්තුව පාර්ලිමේන්තු සභාව වෙත  (09) බාර දී ඇත.

TISL ආයතනය ඇතුළු අනෙකුත් සිවිල් සමාජ සංවිධාන විසින් තොරතුරු කොමිසමේ සාමාජිකත්වය සඳහා යෝජනා කර පාර්ලිමේන්තු සභාව වෙත භාර දී ඇති නම් ලැයිස්තුව මෙසේය.

01 ආචාර්ය ඒ.කේ.සී.එච්. ප්‍රියංගනී ජයසුන්දර මහත්මිය (නම යෝජනා කරන ලද්දේ සේෆ් පදනම (Safe Foundation)

02 ජේ.එච්.නිල්මිණී සුනේත්‍රා කුමාරි මහත්මිය (නම යෝජනා කරන ලද්දේ චයිල්ඩ් විෂන් ශ්‍රී ලංකා (Child Vision Sri Lanka) ආයතනය

03 පී.සායි බාලසුබ්‍රමනියම් මහතා (නම යෝජනා කරන ලද්දේ ජනතා සංවර්ධන පදනම (Peoples’ Development Foundation)

04 පූජ්‍ය.ආචාර්ය නොයෙල් ඩයස් (නම යෝජනා කරන ලද්දේ සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාවය පිලිබඳ කේන්ද්‍රය (Centre for Social Justice and Equity)

05 ඩී.එම් සමන්ත දිසානායක මහතා (නම යෝජනා කරන ලද්දේ මානව හිමිකම් සහ ප්‍රජා සංවර්ධනය පිලිබඳ කේන්ද්‍රය (Centre for Human Rights and Community Development)

06 ආචාර්ය ප්‍රතිභා මහානාම (නම යෝජනා කරන ලද්දේ කැරිටාස් SED (Caritas SED) ආයතනය

07 සම්පත් පුෂ්පකුමාර මහතා (නම යෝජනා කරන ලද්දේ අතුරුදහන්වුවන්ගේ පවුල් සංවිධානය (Families of the Disappeared)

08 නඩරාජා සිවරන්ජිත් මහතා (නම යෝජනා කරන ලද්දේ අම්පාර NGO කොන්සොර්ටියම් (NGO Consortium, Ampara)

09 අයින්කරන් කුගදාසන් මහතා (නම යෝජනා කරන ලද්දේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (Transparency International Sri Lanka) ආයතනය

 

ශානි

Social Sharing
නවතම