කොවිඩ් මරණ (5222- 5022) හා වැඩිහිටියන්ට සැලකීම. – දුලාන් දසනායක

අද දින සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා ප්‍රකාශ කර ඇති බවට මාධ්‍ය වාර්තා කරන්නේ මේ දක්වා සිදු වී ඇති කොවිඩ් මරණ 5222න් 5022ක්ම එන්නත්කරණයට සහභාගී නොවූ අය බවයි. ( https://www.helakuru.lk/esana/83035 )

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ ප්‍රකාශය සිදු කරන්නේ එන්නත්කරණය සදහා ජනතාව උනන්දු කිරීම සදහා බව අප නොදන්නවා නොවේ. විශේෂයෙන් පැණි දම්මිකලා පසුපසත්, මුට්ටි දියේ දැමීම් පසුපසත් දිවූ වියත් ආණ්ඩුව එන්නත්කරණය ට යොමු වීමත් පැසසිය යුතුයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ යට කී ප්‍රකාශය ජනතාව එන්නත්කරණයට උනන්දු කිරීමට ප්‍රකාශ කලත් මෙම ප්‍රකාශයෙන් සෘජුව ජනතාවට හෙළි නොවන ලංකා රාජ්‍යයේ හා රාජ්‍ය ප්‍රතිපත්තිවල නිරුවත් භාවය ගැබ් වී තිබේ. විශේෂයෙන් ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති කොතරම් ආත්මාර්ථකාමී සහ අවස්ථාවාදී ඒවාද යන්නද මෙම ප්‍රකාශයට හේතු වන කොවිඩ් මරණ දෙස හා එන්නත්කරණ ක්‍රියාවලිය විමසන විට අපට දැකගත හැකියි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන පරිදි මිය ගිය 5222න් වයස අවුරුදු 60 ට වැඩි වැඩිභිටියන් ප්‍රමාණය කොතෙක්ද යන්න අප සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කල යුතුයි. අනිවාර්යයෙන් එය 75% සීමාව ඉක්මවා යයි. වසංගත රෝග විද්‍යාංශය මගින් කොවිඩ් මරණ සම්බන්ධව සතිපතා සිදු කරන විශ්ලේෂනයන්ගෙන් අවසන් විශ්ලේෂණය ලෙස එකී විද්‍යාංශයේ වෙබ් අඩවියේ  මේ ලිපිය ලියන මොහොත වන විට දැක්වෙන්නේ පසුගිය ජූලි 23 සිට 30 දක්වා සතියට අදාළ විශ්ලේෂණයයි. එකී විශ්ලේෂණයට අනුව පසුගිය ජූලි 23 වන දිනට සිදු වී ඇති කොවිඩ් මරණ 4002න් 3072ක්ම වයස 60ට වැඩි අයයි. එය ප්‍රතිශතයක් ලෙස 76%ක්. ( වාර්තාව සදහා පිවිසෙන්න https://www.epid.gov.lk/web/images/pdf/corona_virus_death_analysis/death_analysis_from_24.07.2021_to_30.07.2021.pdf )

මෙම සංඛ්‍යාලේඛන අනුව වැඩි වශයෙන් කොවිඩ් හේතුකොට ගෙන මිය යන්නේ වැඩිහිටි ජනගහනයයි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රකාශය අනුව කොවිඩ් හේතුකොට ගෙන මියයන්නන්ගෙන් 96%ක්ම එන්නත්කරණයට සම්බන්ධ නොවූ අයයි. මෙහි බැලූ බැල්මට පෙනෙන සමීකරණය නම් කොවිඩ් නිසා මියයන බහුතර වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සාතිශය බහුතරයක් එන්නත්කරණයට ලක් නොවූ අය යන්නයි. වයස අවුරුදු 60ට වැඩි අපේ වැඩිහිටියන්ට එන්නත්කරණයේ ප්‍රවේශය මුල් අවස්ථාවේදීම නැවැත්වූයේ කවුරුන්ද? යන ප්‍රශ්නය අප සමාජයක් ලෙස නැගිය යුතුයි. විශේෂයෙන් කොවිඩ් රෝගයේ දැඩි අවධානමක් තිබෙන වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටි ජනයා එන්නත් කරණයෙන් ඈත් කිරීම සිදු කළේ කවර පදනමකින් දැයි අප ඇසිය යුතුයි. කණගාටුවට කරුණ නම් මෙම රෝගයේ දැඩි අවදානමක් සහිත වයස අවුරුදු 60ට වැඩි ජනයා එන්නත්කරණයෙන් ඈත් කරද්දී ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක දැනෙන විරෝධයක් එල්ල කිරීමට විපක්ෂය හා අනෙකුත් සිවිල් කණ්ඩායම් ඉදිරිපත් නොවීමය. බෙහෙත් හදුන්වාදීමේ සිට කොවිඩ් සම්බන්ධයෙන් විවිධ අදහස් නිකුත් කරන විපක්ෂ නායකවරයාටද මේ සම්බන්ධයෙන් හඩක් නැගීමට අමතක වූ බවක් පෙනේ.

මෙරට පළමුව භාවිතාකල ඇස්ට්රසෙනිකා කොවිෂීල්ඩ් එන්නතට අදාල චක්‍රලේඛයේ පැහැදිලිව වයස අවුරුදු  60ට වැඩි ජනයාට  මෙම එන්නත ලබා දිය යුතු බව දක්වා තිබුණත් පසුව නිකුත් කළ චක්රලේඛ වල එවැන්නක් සඳහන් වූයේ නැහැ. විශේෂයෙන්ම කොවිෂීල්ඩ් එනන්තත් එකී චක්‍රලේඛයේ සදහන් පරිදි ලබා දීමට නොහැකි වුනු අර අවසානයේ එය විවිධ වෙනස් ආකාරයන්ට බෙදී ගොස් ඇති බව දැකිය හැකි විය. ඒ වගේම ඉන්පසු ආණ්ඩුවේ චක්‍රලේඛ වලින් කියවුනේ වයස අවුරුදු 30 සිට 60 දක්වා වයස් ඛාණ්ඩ වලට පමණක් එන්නත්කරණය සිදුකරන බවයි. ඒ මගින් වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට එන්නත්කරණයේ දොර වසා දැමීමට කටයුතු කෙරුණි. දැනට නිකුත්වෙන කොවිඩ් මරණ සංඛ්‍යා ලේඛන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශය අනුව අපට පෙනී යන්නේ වැඩිහිටියන් එන්නත්කරණයට ලක් කොට මරණයෙන් ගලවා ගැනීම දැනුවත්ව හෝ නොදැනුවත්ව පැභැර හැරි බවයි.

වැඩිහිටියන් එන්නත්කරනයට ලක් නොකර තිබියදීත් වෛද්‍ය වෘත්තිකයන් සිය පවුල් වල අයට එන්නත් නිසි පටිපාටියෙන් බැහැරව බලහත්කාරයෙන් ලබා ගැනීමක් සිදු වුනේ සම්පූර්ණයෙන් මේ වැඩිහිටියන් එන්නත්කරණය සිදු කිරීමේ වටිනාකම තඹේකට මායිම් නොකරමින්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එන්නත්කරණයෙන් වැඩිහිටියන් ඈත් කිරීම සම්බන්ධව හෝ විශේෂයෙන් එන්නත්කරණයේ ගැටළු සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කලේ නැති තරම්.

කෙසේ හෝ වැඩිහිටියන් ප්‍රමුඛතාවයක් ලබා දෙමින් එන්නත්කරණය නොකිරීමේ ප්‍රථිඵල දැන් අපට ලැබෙමින් තිබේ. මෙම මරණයන්ගෙන් වැඩි වශයෙන් වැඩිහිටියන්ද ඒ අය අතරින් සාතිශය බහුතරයක් එන්නත්කරණයට ලක් නොවූ අයද හමු වීමෙන් එය හොඳින්ම පෙනී යයි. වයස අවුරුදු 30 සිට 60 දක්වා පුද්ගලයන්ද එන්නත්කරණයට අනිවාර්යයෙන් ලක් කල යුතුයි. නමුත් වැඩිහිටියන් එන්නත්කරණයට ලක් කිරීම ගැන දැන් හිතනවා මෙන්ම මුල් අවස්ථාවලදීම සිතිය යුතුව තිබුණි. එසේ නම් මේ මරණ සංඛ්‍යාව අපට අඩු කර ගැනීමට හැකියාව තිබුණු බවයි මගේ හැගීම. සිය රාජ්‍යයයේ වැඩිහිටියන් අවදානම් අවස්ථාවක නොසළකා හැරීම ශිෂ්ට රාජ්‍යයකට තරම් නොවේ. බෞද්ධ රාජ්යයක් යැයි පුරසාරම් දොඩවන ලංකාවේ අවදානම් අවස්ථාවක වැඩිහිටියන්ට සැලකීම සිදු වුනේ ඉහත ආකාරයෙන්. වැඩිහිටියන්ගේ එන්නත්කරණය දැන් හෝ නැවත ඇරඹී ඇති නිසා එයට යම් ප්‍රමුඛතාවයක් දීම ජාතියක් ලෙස වැදගත්.

-දුලාන් දසනායක-

Social Sharing
නවතම විශේෂාංග