රේල්පීලි අතර මිලින ව  යන සමඟි පුර අඟනුන්ගේ කඳුලු කතාව!

රේල්පීලි අතර මිලින ව යන සමඟි පුර අඟනුන්ගේ කඳුලු කතාව

දියවන්නා ඔයෙන් ආරම්භ වී දකුණු දෙසට ඇදෙන කොලොන්නාව ඇලෙන් කිරුලපන ඇල පටං ගනී. ඒ කෝට්ටේ ප්‍රදේශයේදියි. එතැන් සිට නාවල, කිරුළපන හරහා එන මෙම ඇලෙන් කිරිමණ්ඩල මාවත අසලදී කිද ඇල පටං ගන්නවා. මෙසේ ඉදිරියට ඇදෙන කිරුළපන ඇල නාරාහේන්පිට ප්‍රදේශයේ බොහෝ ස්ථාන පසුකරමින් ගමන් කරයි. මේ කිද ඇල ගමන් කරන කිරිමණ්ඩල මාවතේ සමගිපුර වත්ත තිබිරිගස්යාය ප්‍රදේශීය බලප්‍රදේශයේ කිරුළ ග්‍රාම නිලධාරී වසමට අයත් ඉතා සුළු ඉඩ ප්‍රමාණයක අනවසර නිවාසවල වාසය කරන ද්‍රවිඩ ජාතිකයන් බහුලව වාසය කරන බිම් කඩකි. සමස්ථයක් ලෙස මෙම ග්‍රාම නිලධාරී වසමෙයි ජනගහනය 20248 කි. එහි ස්ත්‍රී ජනගහනය 10556ක් වන අතර පිරිමි ජගනගහනය 9693 කි. සමස්ථ බෞද්ධ ජනගහනය 12,756 ද හින්දු 3751ක් ද ඉස්ලාම් 155ක් ද රෝමානු කතෝලික1544ක් ද  ක්‍රිස්තියානි, 1014ක් වේ. එමෙන්ම ජනවර්ග අනුව මෙම පිරිස සිංහල 13549ක් ද ලංකා දෙමළ 5302ක් ද ඉන්දීය ද්‍රවිඩ 225ක් ද මුස්ලිම් 695ක් ද වේ.මේ ආදී ලෙස විෂම ජන ව්‍යූහයකින් සැදුම්ලත් කිරුළ ග්‍රාම නිලධාරී වසම තුළ අතිශය දුෂ්කර සහ කටොර ජීවිත ගෙවන මිනිසුන් වාසය කරන  එක් ප්‍රදේශයක් වන සමගිපුර වත්ත පුරා ඉකිබිඳින කාන්තාවන්ගේ කිසිවකු සවන් නොදුන් කතා බොහෝමයකි.

poor people in sri lanka

කිරිමණ්ඩල මාවත හරහා ඇදෙන ප්‍රධාන දුම්රිය මාර්ගයෙන් වම් පසින් පිහිටා ඇති මෙම සමගිපුර වත්ත, තුළ වැඩි වශයෙන් වාසය කරනුයේ රෝමානු කතෝලික ආගම අදහන ද්‍රවිඩ ජාතිකයන්ය. එයට අමතරව බෞද්ධ සිංහල සුළු පිරිසක්ද එහි වාසය කරයි. ඉතා ජරා ජීර්ණවූ කුණු සහිත ජලය රූරා වැටෙන කිද ඇලෙන් හමනා දුර්ගන්දයත්, කුඩා කුඩා නිවාස එකට සිටින සේ සකසා ඇති පෙට්ටි ගෙවල් රාශියත් අතර ඔබ මොබ නිතර කෙලි කවට කම් කරන පුංචි කොලු කුරුට්ටන් දිව යනු නිතතින්ම දක්නට ලැබෙන්නෙකි.

අධ්‍යාපනයට වැඩි උනන්දුවක් නොදක්වන නිරන්තරයෙන් විවිධ විෂමාචාර පුරුදු මෙන්ම ජාවාරම් සඳහා මාන බලන වේලිච්චල දර කොටු වන් තරුණයන් කොණ්ඩා   පාට කර මුදු මාල ඇඟ ලා නිතර ඔබමොබ  යනු දක්නට ලැබේ. එමෙන්ම දහවල් කාලයට පවතින අධික හිරු රශ්මිය දරා ගැනීමට නොහැකිව මෙම අනවසර පෙට්ටි ගෙවල්වල වාසය කරන පිරිස් රේල් පීලි පසෙක ඇති බිම් කඩේ රොක්වී දූලි සුළං පහසින් දාහය නිවා ගැනීමට ද උත්සාහ දරණු දක්නට ලැබේ. එවැනි අවස්ථාවක වත්ත පුරා ඇවිද ගිය අපට රේල්පීලි අතර ඇවිදිමින් වත්තේ, එකතුකරන ලද කුණු එපිටට ගෙන යන කාන්තාවන් කිහිප දෙනෙක් මුණ ගැසුණි. ඒ වන විටත්, මත් ද්‍රව්‍ය ගෙන සිටින පිරිමින් කීහිප දෙනෙකුත් රේල් පාරේ එක් පසක වාඩි වී ඔහේ බලා සිටුණු ද දකින්නට ලැබුණි. ඒ අතර සිටි එක් කන්තාවක් හරි උනන්දුවෙන් පැමිණ අප සමඟ දොඩමළු විය. ඇය කමලා. කමලා අපි සමඟ සිදු කළ ඇගේ කදුළු කතාවත්  සමඟි පුර වත්තේ තවත් කාන්තාවන් බොහෝමයක් පිළිබඳ අප කළ සොයා බැලීම් අනුව එහි බොහෝ කාන්තාවත් ගෙවන දැඩී පීඩනකාරී ජීවිතයේ අලගිය මුලගිය තැන් සොයාගැනීමට අපට හැකි විය

පළමු කතාව

අනුරාධපුරයේ  හොරාව්පතාන ග්‍රාමයේ උපත ලද කමලා ඉන් අනතුරුව වයස අවුරුදු 16 දී  විවාහ වී මීරිගම ප්‍රදේශයට පැමිණ ඇත. ඇය  අවුරුද 24 වන විට  දරුවන් සිව්දෙනෙකුට උපත ලබා දී ඇත. ඇයට දැන් වයස අවුරුදු 52 කි. ඒ අනුව ඇයට පළමු විවාහයෙන් වයස අවුරුදු 36 සහ 32 පුතුන් දෙදෙනෙකු ද වයස අවුරුචු 30 සහ 28 දියණියනියන් දෙදෙනෙක් ද සිටිති. ඔවුන් සියල්ලෝම විවාහ වී වෙන්ව වාසය කරයි. ජීවිතේ ඇය විසින් ගනු ලැබූ අණුවන තීරණයක ප්‍රඵිඵල ලෙස ඇය සමඟිපුර වත්තට පැමිණි ඇත. මුල් කාලයේ රාත්‍රී සමාජ ශාලාවල රැකියාව සඳහා ගිය ඇය ඒ නිසාම මත්පැන් වලට අබ්බැහි වී ඇත. වයසට යත්ම ඉන් එළවා දැමු කමලා දැන් පෞද්ගලික ආයතනයක පිරිසිදු කරන්නියක ලෙස සේවය කරයි. මේ ආකාරයට කෙසේ හෝ මුදල් සෙවීමට ඇයට සිදු වී ඇත්තේ ඇයගේ දෙවැනි විවාහයේ ස්වාමිපුරුෂයාට මුදල් දීම සඳහාය,  ඒ අනුව මේ වන විට දෙවන ස්වාමි පුරුෂයාගේ දැඩි අඩත්තේට්ටම් මත අති දුෂ්කර ජීවිතයක් ගත කරන බව කඳුළු සළමින් අප සමඟ ප්‍රකාශ කළා ය.

” මම මගේ ලස්සනට තිබුණු ජීවිතේ කාලකන්නි කර ගත්තා, මීරිගම මට ලස්සන ගෙයක් තිබුණා, මගේ දරුවෝ ලොකු තැන්වල රස්සා කරනවා, අවසානේ ගතපු වැරදි තීරණයක් නිසා මම මේ කාලකන්නි මිනිහා එක්ක ආවා. මූගේ වැඩේම කුඩු බොන එක. සල්ලී නැති වුණාම මට ගහනවා. බලන්න මේ මගේ කකුල් ඉදිමිලා. හොඳටම ගහලා, දවස ගානේ වැඩ කරනවා. එහෙම කරලා මූට කුඩුබොන්න සල්ලී දෙනවා. මාත් බීමට ඇබ්බැහි වුණා. මම ඉන්නේ අපායක. මම බොරු කියනවා නෙමෙයි. ඔය ඉන්නේ මගේ මිනිහා. දැන් බීලා ඉන්නේ. ඒක නිසා සද්ධයක් නෑ.”

මෙලෙස කියමින් රේල් පාර අසළ වූ මිනිසුන් අතර වූ වයස අවුරුදු 30, 35 පමණ වූ කෙසඟ සිරුරක් හිමි පුද්ගලයෙක් අපට පෙන්වීය. ඔහු අප දෙස බැලුවද කතා කළේ නැත. එහෙන්ම එම සමීපයේම වු අනෙක් කාන්තාවන් පිළිබඳ විමසූ විට, කමලා නැවත සිය හඬ විවර කළා ය.

” මේ වත්ත කියන්නේ ගැණුන්ට ඉන්න පුළුවන් තැනක් නෙමෙයි. අතරින් පතර ගෙවල් කීපයක් නැතුවා නෙමෙයි. ඒ මේ වත්ත පුරාම කුඩ්ඩෝ වැහි වැහැලා උන් එක්ක ඉන්න ගැණු ළමයි අපාදුක් විඳිනව, බඩගින්නේ, ඒ විතරක් නෙමෙයි බලන්න මේ කුණු ඇල, කොහොමද මෙහෙම තැනක මිනිස්සු හොඳ සිහියෙන් ජීවත් වෙන්නේ, සිහියෙන්නම් ඉන්න බෑ. ”

එළෙස කියමින් එතන සිටි තවත් වයස අවුරුදු 35 විතර තරුණියක් දෙසට ඇය අත දික්කළාය. ” මම කතා කළාට මුන් කතා කරන්නේ නෑ. මුන් මේ අපායට හුරු වෙලා. මටත් මේ පඩිසන් දුන්නේ මම කරපු පව්. ඒත් මේ අපායෙන් මිදෙන්න මට ඕනි. තවත් කොහොමද මෙහෙම ජීවත් වෙන්නේ. ඉතාමත් අඩුවයසින් විවාහවීමත් විවාහයේ වගකීම් පිළිබඳ දැනුම්තේරුම් එනවිට ජීවිතය අයාලේ යාමත් මත ඇය දැඩි පීඩනයක් විදිමින් සිටියි.

“අඩුම ගානේ මුකුත් එපා. මගේ මේ වේදනාව මට කියන්න එකෙක් නෑ. අහන්න එකෙක් නෑ. හිත ඇතුළේ හිරකර ගෙන. දරාගන්න බැරි වුණාම මළ ජරාව කටේ ගාගෙන. වේල් ගණන් බඩගින්නේ, ඔහේ ජීවත් වෙනවා. මේක වචනවලට පෙරලන්න බෑ. අපි ඇටෙන් පොත්තෙන් මොරද්දීම, ආපේ දෙමව්පියෝ අපිව බන්දලා දුන්නා. කිසිතේරුමක් තිබ්බේ නෑ. පළවෙනි කසාදේ මිනිහා මට වඩා අවුරුදු 15 ක් විතර වැඩිමල්. ඒ මිනිහා මෙහෙම වද නොදුන්නට, මට තේරුමක් තිබුණේ නෑ. දරුවොත් හැදුවා. ඒත් හරියට ජීවිතේ තේරුනේ නෑ. ඉගෙන ගත්තේ නෑ. දරුවෝ බලන්නෙත් නෑ. මේ මිනිහා නිසා එයාලත් මාව අත හැරියා. හැමෝම හිතන්නේ වැරද්ද මගේ කියලා. ඒත් ජීවිතේ තේරුම් ගන්නවත් මට ඉඩක් තිබුණේ නෑ. අවසානේ අපායක නතර වුණා. ජීවිතේ ආයේ හරවන්න පුළුවන් නම් මම කරන්නේ 16 දී ගෙදින් පැනලා ගිහින් හරි ඉගෙන ගන්න එකයි. අපි ඉගෙන ගන්න ඕනි කාලේ කළේ ළමයි නලවපු එක” කමලාගේ සුසුම් හඬ ඒ දූලි සුළං ගමන රේල්පාර පුරා විසිර යන්නට විය. ජීවිතයේ ඇය කළ වැරදි තවත් නිවැරදි කළ නොහැකි තරමට ජීවිතය ඇය අසරණ කර ඇත. ඉන් ගැලවීමට ඇය කළ සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ඇත.

දෙවන කතාව

ඇය අමරාය. අමරාද දැනට වසර 7කට පෙර වත්තට පැමිණ ඇත්තේ විවාහයෙන් පසුවයි. එයට පෙර වැලිමඩ ප්‍රදේශයේ ජීවත්වී ඇති ඇයට පාසල් යන වයසේ දරුවන් දෙදෙනෙක් ද සිටියි.

” වත්තේ හොඳින් ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒ මුලින්ම මෙහෙට ආපු අය. එයාලා ගොඩක් දෙමළ. අමාරුවෙන් ඉගෙන ගත්ත පවුල් කීපයක්ම ඉන්නවා. හැබැයි එයාලගේ ළමයි වත්තේ නෑ. ඒත් ගොඩක් ළමයි මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. අපේ ළමයි වුණත් තව ටිකක් ඇටෙන් පොත්තෙන් මෝරණ කොටම මේවට යොමු වෙනවා. අපිට මේ කුණු ඇලෙන් වට වුණ මේ පෙට්ටිලෙවල් ඇර වෙන යන්න තැනක් නෑ. මගේ මිනිහා කූලී වැඩ කරන්නේ. ඌට තව ගැණු දෙන්නෙක් ඉන්නවා. මේහේ එන්නෙත් දවස් දෙක තුනයි මාසෙට. ඉතිං මට වෙන්නේ වෙනම දෙයක්. කොච්චර අමාරුද ජීවිතේ ගෙනියන්න. මිනිස්සු බලන්නේ අපෙන් ප්‍රයෝජන ගන්න. මේ දුක් කාටද අපි කියන්නේ. කවුරුත් නෑ. මේ ඉන්න තැනෙනුත් කවදා හරි යන්න වෙනවා.  මමයි මගේ ළමයි දෙන්නයි කොහේද යන්නේ.”  අමරා එක දිගට එක හුස්මට ඇගේ හිත ඇතුලේ වූ පීඩනය වචන වලට පෙරලුවාය. හිත ඇතුලේ පීඩනයත්, ආවේගයත් විසින් ඇය නරක ගැහැණියක් (වෛශ්‍යාවක්) කර ඇතැයි කෙනෙකුට කීවද එය විශ්වාස කරන්න සමාජය මැළිවෙයි. සියලු දොස් ඈ මතින්ම පහව යයි.  ගැහැණියකට දොෂාරෝපනය කරන දහසක් දෙනා ඇගේ ජීවිතයේ මුළු ගැන්වුණු ඛේදජනක ස්වරූපයන් දෙස බලන්නේ නම් මේ වතු නිවාස පුරා සිටිනා කාන්තාවන්ගේ ජීවිත අරගල දෙස බැලීම වඩා සුදුසුය.

මේ ජීවිත මේ ඇල ඇතුලේ ගඳ ගහන කුණු වතුර තරමටම ජරා ජීර්ණ වී ඇත. බොහෝ දෙනා සමඟ දොඬමලු විය නොහැකිය. ඒ අතර වයස අවුරුදු 50 පමණ වූ වයසක ස්ත්‍රීයක් අපට බැණ වැදුණාය.

” ආ තමුසෙලා ආවේ මේකේ රීරී මාංසේ රස විදින්න ද? පලයව් යන්න. තොපිට අපේ ජීවිතවල දුක දැනෙන්නේ නෑ යකුනේ. මේ කේ ඉන්න කිසි එකෙකුට ඇහෙන්නේ නෑ. අපි විදින දුක්. කීදෙනෙක් ආවද. වීඩියෝ කරන් ගිහින් තොපේ…..පෙන්නපියව්. අපිට නම් සෙතක් කරලා නෑ.”

ඒ අතර කමලා පැමිණ ඈ සමඟ පැටලුණාය.  එකදිගට උනුන් බැණ අඩාගසා ගනියි. ඒ කුඩා නිවාස පේළි පසු කර වත්ත ඇතුළට ඇවිද යන විට දරුවන් ඇකයේ හොවාලෙන කිරි දෙන තවත් බොහෝ ගැහැණුන් නිහඬව මේ අරගලයට උරදී සිටිනු දකින්නට ලැබුණි. ඇතැමෙක්ට ස්වාමිපුරුෂයන් නොමැත. නමුත් දරුවන් සිටියි. විවිධාකාර රැකියාවන් කරන්නට එකී කන්තාවන් වෙර දරයි. කෙමෙන් කෙමෙන් එම පෙට්ටි නිවාස අතරින් ඈත් වූ අප මේ පිළිබද වත්තේ ජීවත් වූ කීපදෙනෙක් සමඟ කතා කරන්නට උත්සාහ දැරූහ.

තෙවැනි කතාව

සමගිපුර වත්ත තුළ යම් ආකාරයට සුවපහසු නිවසක් ඇති. වත්තේ මුල්පදිංචි කාරයක් වන ආර්. සිල්වදොරේ මහතාගේ නිවසට අපි ගොඩවිය. එම නිවාසය ඉතා කුඩා ඉඩක දෙමහල් ලෙස සදා තිබූ අතර නවීන ගෘහ උපකරණ කීපයක් ද එහි තිබුණි. නමුත් කාමරය ඇතුළේ තිබුණේ ඉතාම කුඩා ඉඩකි. කතෝලික දේව පිංතූර ද ගසා කුඩා වුවත් පිළිවෙලකට එය සකසා තිබුණි.  සිල්වදොරේ මහතා කතා නොකළ ද ඔහුගේ බිරිද අපි සමඟ දොඬමළුවිය.

“මේක කලින් තිබුණ තනි වගුරක් අපි මේකේ පදිංචියට එනකොට මේක තනිකරම දහජරා වැඩවලට තිප්පලක් වගේ. ඉස්සර නම් ඉන්නම බෑ. එක දිගට මිනිස්සු මරා ගත්තා. යුද්දේ දරුණුවට තිබුණ කාලවල වගේම වත්තේ අයි.ආර්.සී කාරයෝ කල්ලී පිටින් මරා ගත්තා. දැන්නම් ටිකක් හොඳයි. උන් දැන් නෑ ගොඩන් වුන් මැරුණා. පවුල් 118ක් විතර දැන් ඉන්නවා. ගොඩක් දෙමළ. මගේ පුතා ෆාර්දර් කෙනෙක් මම අමාරුවෙන් ඉගැන්නනුවා. හරි අමාරු වුණා. උගන්න ගන්න ඒත් අපි අතඇරියේ නෑ. දැන් නම් මේකේ එක එකාලා ඇවිල්ලා. ගොඩක් වුන් ආවේ, ඈත පිටිසර ගම්වලින්. ගොඩක් ප්රශ්න නම් තියෙනවා. ඒවා මටකතා කරන්න බෑ.”

ඇය එතනින් එහාට කිසිවක් කතා නොකළාය. වත්ත තුළ සිටි එකම රාජ්‍ය සේවකයෙක් පිළිබද තොරතු ලබා දුන්නද, අපිට ඔහු සම්බන්ධ කර ගත නොහැකි විය. සමහර තැන් වල නිවෙස්වල කෙනෙකුට කෙනෙකු අදුරන්නේ නැත. මේ පෙට්ටි ගෙවල් ඇතුළේ සිරවී ඔවුන් තනි තනිව ජීවිතය සමඟ අරගල කරයි. එදාවේල සොයාගැනීම සඳහා වෙනමම අරගලයක යෙදෙයි. වැස්ස කාලයට ඇල උතුරා වත්ත එකම එක වතුර වලක් බවට පත්වෙයි  පොඩි වැස්සක් වැටුණත් ඔවුන් ජලයෙන් යටවෙයි. දරුවන්ට ලෙඩ රෝග බෝවෙයි. මාර්ග සංවර්ධන අධිකාරයට අයත් බිම්කඩක් වන මෙම වත්ත අනවසර පදිචිකාරුවන් ගෙන් සැදුම්ලත් එකකි. පුදුමය නම් ඇතැම් අනවසර පදිංචිකරුවන්ගේ පදිංචිය දශක ගණනාවක් ඉක්ම ගොස් තිබීමයි. නිසි සනීපාරක්ෂණයක් නොමැති මෙම මිනිසුන්ගේ ජීවිත ඉරු රශ්මියෙන් වෙලීමත්, වැස්තෙන් තෙමීමත්, යන සිද්ධි අතර දෝලනය වේ. ඉන් ඔබ්බට විසදුම්ක් ලබා දීමට නොහැකි වී ඇත.

ප්‍රදේශයක් විදියට සමඟිපුර වත්ත පමණක් නොව කොළඹ දිස්ත්‍රීක්කය පුරාම විසිරී තියෙන බොහෝ මෙවන් වතුවල මිනිසුන්ගේ ජීවිතවල සැබෑ තත්ත්වය මෙයයි. මත් ද්‍රව්‍ය, ගණිකා ව්‍යාපාර මෙන්ම විවිධ අපචාරගත ක්‍රියාවලට මේ මිනිසුන් පෙළඹීම සඳහා සුදුසු පරිසරයක් ඒ තුළ නිසඟවම නිර්මාණය වී ඇත. ඉන් ඉතා සුළු පිරිසක් ගැලවී එපිට මහ සමාජයට පිළිපන් වී තිබෙනු ද දැක ගන්නට ලැබිණ. විවිධ රැකියා කරමින් ඔවුන් අමාරුවෙන් හෝ ජීවිකාව ගෙන යන බව පෙනෙන්නට තිබිණ. නමුත් මේ අතර බොහෝ අසරණ වූ ගැහැණුන්ගේ කඳුළු කතාව හද කම්පා කරන්නක් බව කිව යුතුමය.  මෙරටට සංවර්ධිත යැයි පිළිගන්නා කලාපයක මේ වැනි අති දුක්ඛිත ජීවිත ගෙවන සියගණන් කාන්තාවන් පීඩිතව ජීවිතය තුළ ඇතුළතින් මොරගාන හඬ ඔවුන්ගේ මරණයෙන්ම කෙලවර වී යයි.  ඔවුන්ගේ මානසික පීඩනයත් ඒ හා පොරබදින එදාවේල සොයාගැනීම සඳහා ඔවුන්ට යම් පිළිසරණක් වීම ඉතා වැදගත් දායකත්වයක් වනු ඇත. විශේෂයෙන්ම රටක සංවර්ධනය ගැන නිවැරදි මානයකින් බලන්නේ නම් මෙවැනි රටපුරා විසිරී සිටින කාන්තාවන් ගේ දැඩි ආත්ම ශක්තියත් දරාගැනීමේ හැකියාවත් නිසි ව්‍යවසායකත්වයක් තුළ ගොඩ නැගිය යුතු බව අප වටහා ගත යුතු ය. දුවක්, නැගණියක්, පෙම්වතියක්, බිරිදක්, මවක්, මිත්තනියක් ආදී විවිධ භූමිකා ගත කරන, ඇගේ නිසඟ කාන්තා ශක්තිය රටේ උන්නතිය සඳහා වන ග්‍රාමීය ප්‍රවේශයේ සිට ඉහළට ගෙන යාම සඳහා කටයුතු කළ හැකි යාන්ත්‍රණයක් පිළිබඳ අප සිතිය යුතු ය. එය ඇගේ කඳුලට, ඇගේ සුසුමට සාදාරණ පහසුකරණයක් සැකසීමක් වනු නිසැකය.

 

(මෙහි එන සියලු නම් මඃකල්පිත යැයි සලකන්න)

එච්.එම්.ඩී.එම් සමාධි මහානද

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment